රියදුරෙක් නැති බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

රියදුරෙක් නැති බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

July 23, 2014   11:57 am

හැටන් ලංගම ඩිපෝවට අයත් ආපදා රථයක් හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බස් නැවතුම්පොළ ඉදිරිපිට ප‍්‍රධාන මාර්ගයේ අඩි 200 ක පමණ ප‍්‍රපාතයක තිබු නිවසකට පෙරළී තිබේ.

ඊයේ රාත‍්‍රී 9.00 ට පමණ ගිනිගත්හේන බස් නැවතුම්පොළේ ආපදාරථය පනගන්වා එහි සේවකයන් විසින් තවත් ලංගම බස් රථයක් නඩත්තු කටයුතු කරමින් සිටින අවස්ථාවේ රියදුරු නොමැතිව ආපදා රථය ඉදිරියට ඇදී ගොස් පෙරළී ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

ආපදා රථය පෙරළෙන අවස්ථාවේ නිවෙස් හිමියන් නිවසේ සිටියත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව ගිනිගත්හේන පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුර ඊයේ රාත‍්‍රී 9.00 ට සිදුවී ඇති අතර අනතුර පිළිබඳ ගිනිගත්හේන පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබේ.