කොටි යකා ඉවුරවුණාම ග්‍රීස් යකා ඕන වුණා

කොටි යකා ඉවුරවුණාම ග්‍රීස් යකා ඕන වුණා

July 22, 2014   06:28 pm

අස්ථාවරත්වයෙන් පැවති මව්බිම ස්ථාවරත්වයට රැගෙන ආ වත්මන් රජය අස්ථාවරව තිබූ රාජ්‍ය ආයතනයන් ස්ථාවරත්වය කරා රැගෙන ආ බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්යෂ විමල් වීරවංශ මහතා පවසයි.

එම රාජ්‍ය ආයතනවල සේවක මහත්ම මහත්මීන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට කටයුතු කළ බවද හෙතෙම කියා සිටියේය.

අද(22) ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන් 151 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම්, තනතුරු නාම ලබාදීම සහ සේවක උසස්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව මේවන විට ක්‍රමානුකූලව නැඟී සිටින බවත්, ඒහෙත් ඒවා ප්‍රවෘත්ති නොවී ආතතිය දනවන දේ පමණක් ප්‍රවෘත්ති බවට පත්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ආතතියක් නොමැතිනම් මොකක් නමුත් ආතතියක් ඇති කළ යුතුව ඇති බවත්, කොටි යකා නැති කළ පසු ග්‍රීස් යකා මතුවූ බවත් වීරවංශ මහතා සිහිපත් කළේය.

මේ වන විට ඇතැමුන් ආගමික ස්වරූපයෙන් ගැටුම් ඇතිකරමින් සිටින බවත්, එයද ආතතිය දැනවීමේ උපක්‍රමයක් බවත් ඔහු කියා සිටියේය.

මේ අනුව අද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවයේ නියුතු ඉංජිනේරුවන්, වාස්තු විද්‍යාඥයන් ඇතුළු සේවක මහත්ම මහත්මීන් 78 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කෙරුණු අතර මීට අමතරව තනතුරු නාම 65 ක් සහ ඉංජිනේරුවරුන් 08 දෙනෙකු සඳහා උසස්වීම් ද මෙහිදී ප්‍රදානය කරන ලදී.