සිසුවිය දූෂ්‍ය කිරීමට විදුහල්පති අනුබල දීලා - දෙදෙනෙක් රිමාන්ඩ්

සිසුවිය දූෂ්‍ය කිරීමට විදුහල්පති අනුබල දීලා - දෙදෙනෙක් රිමාන්ඩ්

July 22, 2014   04:32 pm

හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන කඩවල දෙමළ මහා විද්‍යාලයේ 16 හැවිරිදි පාසැල් දැරියක අපයෝජනයට ලක්කිරීමට අනුබල දුන් විදුහල්පතිවරයෙකු හා ගුරුවරියක රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව සැකකාර දෙදෙනා ලබන මස 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හැටන් මහෝස්ත‍්‍රාත් අමිල ආරියසේන මහතා අද (22) නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

2007.11.12 දින එම පාසලේ උසස් පෙළ පන්තියේ සිසුවියක එම පාසලේම ගුරුවරයෙකු විසින් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් පාසල් දැරිය විසින් ගිනිගත්හේන පොලීසියට ලබාදුන් පැමිණිල්ලක් මත එම ප‍්‍රධාන සැකකාර ගුරුවරයාට එරෙහිව නුවරඑළිය මහ අධිකරණයේ තාමත් නඩුවක් විභාග වෙමින් පවතියි.

එම අපයෝජන සිද්ධිය වසන් කිරීමට තැත්කළ එවකට එම විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ දැනට නෝර්වුඞ් දෙමළ මහා විද්‍යාලයේ කටයුතු කරන තිරුවානන්දන් නාගරාජ් (අවු. 38) සහ එවකට එම විදුහලේ ගුරුවරියක වශයෙන් සේවය කළ දැනට ෂැනන් දෙමළ මහා විද්‍යාලයේ සේවය කරන රොජර් ස්පයන් රොජර් (අවු. 35)යන දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම දෙදෙනාට එරෙහිව හැටන් පොලීසිය මඟින් හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණි.

මෙම නඩුවේ නඩු තීන්දුව ලබන මස 05 වෙනි දින ලබාදෙන බව හැටන් මහේස්ත‍්‍රාත් අමිල ආරියසේන මහතා අද විවෘත අධිකරණයේදී පවසා සිටියේය.