පොලීසිය යද්දී නිල්වලා පැනලා!

පොලීසිය යද්දී නිල්වලා පැනලා!

July 21, 2014   03:17 pm

කුරුණෑගල - අඹකොටේ 617 වසම බාර ග‍්‍රාමනිලධාරී ආනන්ද විමලසිරි මහතාට පහරදුන් බව කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් විජේසිංහ නොහොත් නිල්වලා විජේසිංහ පදිංචි නිවසින් ද ප්‍රදේශයෙන් ද පලාගොස් ඇති බව පොලීසිය කියයි.

අදාළ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ඔහුගේ නිවසට අද (21) පෙරවරුවේ ගිය නමුත් ඒ වන විටත් ඔහු නිවසින් ද ප්‍රදේශයෙන් ද පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කීවේය.

මන්ත්‍රීවරයා‍ සිටින තැනක් ගැන මේවන විට කිසිත් තොරතුරක් නැතැයිද හෙතෙම පැවසුවේය.

කුරුණෑගල - අඹකොටේ වසම බාර ග‍්‍රාමනිලධාරීවරයාට පහරදීමේ සිද්ධියට චෝදනා එල්ල වී ඇත්තේ නිල්වලා විජේසිංහ මන්ත්‍රීවරයාටය.

ආනන්ද විමලසිරි නමැති එම ග‍්‍රාමනිලධාරීවරයා පසුගිය 19 වැනිදා ප්‍රහාරයට ලක්ව තිබුණේ අඹකොටේ ග‍්‍රාමනිලධාරී වසමේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් ඇදීමට පෙර කපා ඉවත් කළ යුතු බවට සලකුණු කළ කොස් ගසක් කිසියම් පිරිසක් විසින් නීති විරෝධීව කපන බවට ලැබුණු තොරතුරකට අනූව එය පරික්ෂා කිරීමට ගිය විටදීය.

ග්‍රාමනිලධාරිවරයා එම ස්ථානයට ගිය විට ගස කපමින් සිටි අය පවසා ඇත්තේ තමන් නිල්වලා විජේසිංහ මන්තී‍්‍රවරයාගේ පිරිසක් බැවින් තමන්ගේ කටයුතු වලට අතපෙවීමෙන් වළකින ලෙසටය.

අනතුරුව ඔවුන් මන්ත්‍රීවරයාට මේ ගැන දුරකථනයෙන් දැනුම්දී ඇති අතර එවිට මන්ත්‍රීවරයා දුරකථනය ග්‍රාමනිලධාරිවරයාට ලබාදෙන පවසා ඇත.

රාජකාරීයකට පැමිණි අවස්ථාවේ දුරකථනයට පිළිතුරු දීම එවිට ග්‍රාමනිලධාරිවරයා ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව එම ස්ථානයට පැමිණ ඇති මන්ත්‍රීවරයා අසභ්‍ය වචනයෙන් බැණ වැදී ග්‍රාමනිලධාරිවරයාට පහරදී ඇතැයි පැවසේ.

ප්‍රහාරයට ලක්වූ එම ග‍්‍රාමනිලධාරීවරයා මේ වනවිටත් කුරුණෑගල රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියි.

මෙම සිද්ධිය ශ්‍රී ලංකා ග්‍රාමනිලධාරීන්ගේ සංගමයද හෙළාදැක ඇති අතර ඔවුන් මේ ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි පොලීසියෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයාගෙන් ද ඉල්ලීමක් කරයි.