මලයාසියාවට තවත් කම්පනයක් - ගුවන් යානයක් බිම හෙළයි - 295ම මරුට

මලයාසියාවට තවත් කම්පනයක් - ගුවන් යානයක් බිම හෙළයි - 295ම මරුට

July 17, 2014   10:04 pm

මගීන් 295ක් රැගත් මලයාසියානු ගුවන් යානයක් යුක්රේන හා රුසියානු දේශ සීමාව ආසන්නයේදී ප්‍රහාරයකට ලක්වීමෙන් එහි සිටි සියලූම දෙනා මියගොස් තිබේ.

ප්‍රහාරයෙන් එහි සිටි මගීන් 280 දෙනා හා කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනාම මියයන්නට ඇතැයි විශ්වාස කරන අතර මේ දක්වා එහි වගකීම කිසිවෙකුත් බාරගෙන නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය ගැන සැලවීමෙන් පසු මලයාසියානු අග්‍රාමාත්‍යවරයා දැඩි ශෝකයට පත්ව ඇති අතර ඉකුත් මාර්තු මස එම්.එච් 370 වර්ගයේ ගුවන් යානයක් කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් 239 දෙනෙකු සමග අතුරුදන්වීමෙන් පසු මෙම වසරේදී එරට මුහුණ පෑ දෙවැනි ගුවන් අනතුර මෙය වේ.

සිද්ධිය ගැන වහා පරීක්ෂණයක් අරඹන බව මලයාසියානු අග්‍රාමාත්‍ය මොහොමඩ් නජීඩ් මහතා පවසා ඇති අතර යුක්රේන අග්‍රාමාත්‍යවරයා ද ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කරන බව කියයි.

ප්‍රහාරයට ලක්වූ ගුවන් යානය නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩැම් හී සිට මලයාසියාවේ ක්වාලම්පූර් දක්වා පියාසර කරමින් තිබී ඇති අතර එය MH17 යනුවෙන් හඳුන්වනු ලැබේ.

රුසියානු හිතවාදී යුක්රේන විරුද්ධවාදීන් පිරිසකට යානය බිම හෙළීමේ චෝදනාව එල්ල වී ඇතැත් ඔවුන් එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

අඩි 33,000 ඉහළ ගුවනේදී එම ගුවන් යානය මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇති බවට ද වාර්තා පළ ව තිබේ.

මේ අතර රුසියානු හා අමෙරිකානු ජනාධිපතිවරුන් ද දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.