බදුල්ලෙන් තුනක් හැළී මොණරාගලට සෙට්වෙයි

බදුල්ලෙන් තුනක් හැළී මොණරාගලට සෙට්වෙයි

July 16, 2014   05:06 pm

ඌව පළාත් සභාවට අයත් බදුල්ල දිස්ත්‍රීක්කයේ ඉදිරි පළාත් සභා මැතිවරණයේදී අපේක්ෂකයින් 18 දෙනෙකුද, මොණරාගල දිස්ත්‍රීක්කයෙන් අපේක්ෂකයින් 14 දෙනෙකුද තෝරාපත් කරගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ අනුව බදුල්ල හා මොණරාගල දිස්ත්‍රීක්කවලින් නම් කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිවෙලින් 21 ක් හා 17 ක් වන බව දේශප්‍රිය මහතා සඳහන් කරයි.

සමස්ත ඌව පළාතේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගනු ලබන පක්ෂයේ ලේකම්වරයාට හෝ ස්වාධීන කණ්ඩායම් නායකයාට ස්වකීය අභිමතය පරිදි ප්‍රසාද ආසන සඳහා අපේක්ෂකයින් දෙදෙනෙකු නම් කළ හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනය කරයි.

අදාළ ඡන්දයට නාමයෝජනා බාරගැනීම ජූලි මස 30 වන දින සිට අගෝස්තු මස 06 වන දින මධ්‍යාහ්න 12.00 දක්වා අදාළ දිස්ත්‍රීක්කවල දිස්ත්‍රීක් ලේකම් කාර්යාලවල පිහිටුවනු ලබන නාමයෝජනා බාරගැනීමේ මධ්‍යස්ථාන වලදී සිදුකෙරෙයි.

කෙසේ වෙතත් බදුල්ල හා මොණරාගල දිස්ත්‍රීක්කවලට අදාළව ආසන බෙදීයාම මීට පෙරාතුව පැවති තත්ත්වයෙන් වෙනස්ව බදුල්ල දිස්ත්‍රීක්කයෙන් තෝරාපත්කරගන්නා මන්ත්‍රීධූර සංඛ්‍යාව 3ක් අඩුවී එය මොණරාගල දිස්ත්‍රීක්කයට එකතුවී තිබේ.