ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරාදයි

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරාදයි

July 12, 2014   06:24 pm

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරඟය ලකුණු 82කින් ජය ගනිමින් දකුණු අප්‍රිකාව එක්දින තරඟාවලිය 2ට 1ක් වශයෙන් ජය ගැනීමට මීට ටික වේලාවකට පෙර සමත් විය.

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරඟයේ පළමුව ලකුණු රැස්කළ අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 5ට ලකුණු 339ක් ලබාගත්තේය.

එම කණ්ඩායම වෙනුවෙන් කුවින්ටන් ද කොක් ලකුණු 128ක් හා ඒබී ද ඩිවිලියර්ස් පන්දු 71දී ලකුණු 108ක් ලබා ගන්නා ලදී.

ලකුණු 340ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 44.3දී ලකුණු 257ට සීමා කිරීමට අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු එක්දින තරඟාවලි ඉතිහාසයේ දකුණු අප්‍රිකාව ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද එය වාර්තා පොත් අතරට එක්විණ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාදුන්නද මැද පෙළ හා අගපෙළ පිතිකරුවන් එය පවත්වා ගැනීමට අපොහොසත්වීම තරඟය පරාජයට දැඩිලෙස බලපෑවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 58ක්, කුසල් ජනිත් ලකුණු 37ක්, කුමාර් සංගක්කාර ලකුණු 36ක්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 30ක් හා අසාන් ප්‍රියන්ජන් ලකුණු 30ක් ලබාගත් අතර සෙසු පිතිකරුවන්ට කැපී පෙනෙන ලකුණු සංඛ්‍යාවක් ගැනීමට නොහැකි විය.

ඒ අනූව තරඟ 3න් සමන්විත එක්දින තරඟාවලිය 2ට1ක් ලෙස දකුණු අප්‍රිකාව සතු විය.