මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩත්වය එපා - බුදුන් හිටියානම් ආරක්ෂා කරාවි

මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩත්වය එපා - බුදුන් හිටියානම් ආරක්ෂා කරාවි

July 7, 2014   10:50 am

ශ්‍රී ලංකාවේ සහ මියෙන්මාරයේ සුළුතරයක් වන මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා වහා නැවත්විය යුතුව ඇති බව අධ්‍යාත්මික නායක දලයිලාමා හිමියන් යළි වරක් පවසයි.

ඊයේ දිනයට (06) යෙදුණු ඒ හිමියන්ගේ 79 වන උපන්දිනය නිමිත්තෙන් එකතුවුණු දස දහස් සංඛ්‍යාත බැතිමතුන් ඉදිරියේ මේ බව සඳහන් කළ බව AFP පුවත් සේවය සඳහන් කරයි.

හොලිවුඩ් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන රිචඩ් ග්‍රේ ඇතුළු අති විශාල සංඛ්‍යාවන් ඉදිරියේ දලයිලාමා හිමියන් කියා සිටියේ බහුතරයක් බෞද්ධ ජනතාව වෙසෙන රටවල සුළු තරයක් වන මුස්ලිම් ජනයාට එරෙහිව කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියාවන් අනුමත කළ නොහැකි බවයි.

ඉකුත් මාසයේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව දියත් කෙරුණු ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, සිය ගණනක කඩ සාප්පු හා දේපළ විනාශ වූ බවත් AFP පුවත් සේවය උපුටා දක්වයි.

එබැවින් අපරාධ වලට පෙළඹීමට ප්‍රථම බුද්ධ ප්‍රතිරූපය මෙනෙහි කරන ලෙස තමන් මෙම රටවල බෞද්ධ ජනයාගෙන් ඉල්ලීමක් කරන බව දලයිලාමා හිමියන් එහිදී සඳහන් කළේය.

බුද්ධ දේශනාව ආදරය හා කරුණාව බවත්, බුදුන් වහන්සේ ජීවමානව සිටීනම් බෞද්ධන්ගේ ප්‍රහාරයට ලක්වන මුස්ලිම් ජනයා ආරක්ෂා කරනු ඇති බව දලයිලාමා හිමියන් පෙන්වා දුන්නේය.

ඉරාකයේ සුන්නි මුස්ලිම් අන්තවාදීන් තවත් මුස්ලිම් ප්‍රජාවකට කරනු ලබන හිරිහැර පීඩාවන්ද අසා දැක තමන් ශෝකයට පත්වන බව උන්වහන්සේ සඳහන් කළේය.