පකිස්ථානුවන් පිටුවහල් කරන්න එපා - හියුමන් රයිට් වොච් ලංකාවට කියයි

පකිස්ථානුවන් පිටුවහල් කරන්න එපා - හියුමන් රයිට් වොච් ලංකාවට කියයි

July 3, 2014   12:52 pm

එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනයේ මැදිහත්වීමක් සිදුවන තුරු පකිස්ථානු ජාතිකයින් 142 දෙනෙකු පිටුවහල් කිරීමෙන් වළකින ලෙස හියුමන් රයිට් වොච් සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබේ.

අහ්මඩියා නැමැති පකිස්ථානු මුස්ලිම් සුළු ජනවර්ගයකට අයත් 142 දෙනෙකු ශ්‍රී ලංකා පොලීසිය විසින් ඉකුත් ජූනි මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් ශ්‍රී ලංක‍ාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක් ඇති බවත් හියුමන් රයිට් වොච් සංවිධානය කියයි.

මීගමුව ප්‍රදේශය පකිස්ථානු සුළු ජනකොටස්වලට පහසුවෙන් ජීවත්විය හැකි ප්‍රදේශයක් බව පෙන්වාදෙන එම සංවිධානය පසුගිය ජූනී මස 9 වැනිදා සිට ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරක්ෂාවට තර්ජනයක් බව සඳහන් කරමින් යැයි පෙන්වාදෙයි.

2013, හියුමන් රයිට් වොච් වාර්තාවලට අනූව පකිස්ථානු සරණාගතයින් 1500ක් පමණ ශ්‍රී ලංකාවේ සිටි බව පැවසෙයි.

ශ්‍රී ලංකා බලධාරීන් විසින් මෙම පකිස්ථානු ජනවර්ගයට තර්ජනය කර පිටුවහල් කරන බව පවසා ඇතැයි හියුමන් රයිට් වොච් සංවිධානයේ අධ්‍යක්ෂ බිල් ෆ්‍රෙලික් පවසා ඇත.‍

එසේම පකිස්ථානු රජය එරට සුළු ජනකොටස්වල ආරක්ෂාව තහවුරු කිරීමට අසමත්ව ඇති බව දැනගත යුතු බවද හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.

මෙම වාතාවරණය යටතේ ශ්‍රී ලංකා රජය රටක් ලෙස ජාත්‍යන්තර වශයෙන් බැඳී ඇති නීතිවලට ගරු කරමින් වධහිංසනවලට ලක්වූ එකදු හෝ රැඳවියෙකු නැති බව එක්සත් ජාතීන්ගේ සරණාගත නිලධාරීන්ට තහවුරු කළ යුතු බව හියුමන් රයිට් වොච් අධ්‍යක්ෂවරයා කියයි.