ඉදිරියේදී වැටලීම් කරන්නේ පොලීසියත් එක්කමයි

ඉදිරියේදී වැටලීම් කරන්නේ පොලීසියත් එක්කමයි

May 6, 2014   01:53 pm

ඇමතිලාගේ ආරක්ෂාව සහිතව අලි ජාවාරම සිදුවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

මෙම අපරාධය වහා නැවතිය යුතුව ඇති බවත්, එසේ නොවුණ හොත් ඉදිරියේදී මෙම අලි ජාවාරමට සම්බන්ධ උදවියගේ නම් රටට හෙළිකරන බව උන්වහන්සේ කියා සිටියේ අද(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම සොරකම් සම්පූර්ණයෙන්ම සිදුවන්නේ බුදු දහම ඉස්සරහට දමා බවත්, මෑතකදීද ඇතින්නක ඝාතනය කර පැටවා රැගෙන ගොස් තිබුණු බවත් ඥානසාර හිමියන් සිහිපත් කළේය.

බොදුබල සේනා සංවිධානයට වැටලීම්වලට නොයන ලෙස අවවාද ලැබී ඇති බැවින් මින් ඉදිරියට තනිව වැටලීම් සඳහා නොයන බවත්, ඒ වෙනුවට පොලීසියද සමග වැටලීම්වලට සම්බන්ධවන බවත් උන්වහන්සේ අවධාරණය කළේය.

මෙම අලි ජාවාරමට අදාළව කුමන දේශපාලනඥයින්, ඔවුන්ගේ ලේකම්වරුන්,නිලධාරීන් සිටින්නේද යන්න තවදුරටත් සොයා බලන බවද ඥානසාර හිමියන් එහිදී පෙන්වා දුන්නේය.

කැලෑවේ සිටින අලි ගණන් කරන වගකිව යුතු නිලධාරීන්ට ගෙවල්වල සිටින අලි ටික ගණන් කර ගැනීමට බැරිවීම විහිළුවක් බවද මහලේකම් ස්වාමින් වහන්සේ සඳහන් කළේය.

මීට ඉහතදී පුද්ගලයින් දේශපාලනය කරනු ලැබුවේ නම්බුකාර විදිහට බවත්, ඔවුන් අලි ඇතුන් පවා ආරක්ෂා කළ බවත් උන්වහන්සේ සිහිපත් කළේය.

අලි ජාවාරම සිදුවන බව අද පිළිගන්නට සිදුව ඇති බවත්, අලියා කියන්නේ හූනෙකු නොවන නිසා හංගන්නට බැරි බවත්, ඒ නිසාම මෙම සිදුවීම යටගසන්නට හැකියාවක් නැති බවත් ඥානසාර හිමියන් කියා සිටියේය.