වටරැක නාටකය අවසන් - නිරුවත වහගන්න චීවරය පාවිච්චි කරන්න එපා

වටරැක නාටකය අවසන් - නිරුවත වහගන්න චීවරය පාවිච්චි කරන්න එපා

April 24, 2014   04:26 pm

වටරැක නාටකය අවසන් කිරීමට තීරණය කළ බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

ගංගොඩවිල සෝම හාමුදුරුවන්ද වටරැක හිමියන් ගැන මහියංගණයේදී පවසා ඇති බවත්, මහනායක හිමිවරුන්ද උන්වහන්සේගේ චර්යාව ගැන පෙන්වාදී ඇති බවත්, ප්‍රාදේශීය සංඝ සම්මේලනය වටරැක හිමියන් භික්ෂුත්වයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇති බවත් ඥානසාර හිමියන් කියා සිටියි.

ඊයේ දිනයේ බොදුබල සේනා පිරිස් රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාගේ කාර්යාලයට ගිය පසු වටරැක හිමියන් එහි නොමැති බව දන්වා සිටියද, අනිවාර්යයෙන්ම උන්වහන්සේ එහි සිටි බවත්, භික්ෂුන් වහන්සේලා ලෙස තමන් බොරු නොකියන බවත් ඥානසාර හිමි කියා සිටියේ අද(24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

වටරැක හිමියන්ගේ පව්කාර පංචස්කන්ධය ගැන වෛර නොකරන නමුත් කනගාටුවක් ඇති බවත් තමන්ගේ නිරුවත වසාගැනීමට චීවරය පාවිච්චි නොකරන ලෙස තමන් බදියුදීන් වැනි ඇමතිලාගෙන් ඉල්ලා සිටින බවත් මහලේකම් හිමියන් සඳහන් කළේය.

විශේෂයෙන්ම මුස්ලිම් ඇමතිලාට චීවරය ‘හරාම්‘යයි ඥානසාර හිමි අවධාරණය කළේය.

ආගමික සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බවත්, එය දීර්ඝ කාලයක් තිස්සේ තම සංවිධානය පෙනී සිටි කාරණයක් ඉටුවීමක් බවත්,“අඬන්න ඕනලු කිරි එරෙන්න“ කියන්නේ මේ නිසා බවත් උන්වහන්සේ කියා සිටියේය.

ඒ නිසාම අන්තවාදී ඉස්ලාම් ආගම හෝ අන්තවාදී ක්‍රිස්තියානි ආගම් ප්‍රචාරය කිරීමට ගම්වලට පැමිණියහොත්, අල්ලා ගස් බැඳ පොලීසියට බාරදෙන බවත්, විශේෂ පොලිස් ඒකකය ඔවුන් ගැන බලාගනු ඇති බවත් ඥානසාර හිමි පවසා සිටියේය.

එබැවින් මේ රටේ සෑම පුරවැසියෙකුටම නිල නොවන පොලිස් නිලධාරියෙකු වන ලෙස තමන් යළි යළිත් ආරාධනා කරන බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.