ආගමික සිද්ධීන් ගැන විමර්ශනයට විශේෂ ඒකකයක් - ඉල්ලන ඡන්දයක් දෙන්න සූදානම්

ආගමික සිද්ධීන් ගැන විමර්ශනයට විශේෂ ඒකකයක් - ඉල්ලන ඡන්දයක් දෙන්න සූදානම්

April 24, 2014   10:54 am

ආගමික සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව අදාළ විමර්ශන ඒකකය ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ පිහිටුවීමට අදහස් කර ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේ අද(24) මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය.

එසේම ඉදිරියේදී කිසිදු පුද්ගලයෙකුට හෝ සංවිධානයකට නීතිය අතට ගැනීමට ඉඩ නොදෙන බවත්, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් තමන් පුද්ගලිකව පවා සොයා බලන බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මේවන විට නව හෝටල් ව්‍යාපෘතිය යටතේ කැසිනෝ ඉදිකරන බවට විපක්ෂය නඟන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙම හෝටල් තුළ අලුතින් කිසිදු කැසිනෝ ව්‍යාපෘතියක් ස්ථාපිත නොකරන බවයි.

ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා අනුව ශ්‍රී ලංකාවට අදාළව පැවැත්වීමට නියමිතව ඇති ජාත්‍යන්තර පරීක්ෂණය පිළිබඳ විමසන ලද අවස්ථාවේදී රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ප්‍රජාව අතුරුදහන්වූවන් ගැන චෝදනා නඟන බවත්, එසේ අතුරුදහන්වූවන් ගැන සොයා බැලීමට තමන් කොමිසමක් පත් කර ඇති බවත්ය.

එබැවින් ඉදිරියේදී එකී අතුරුදහන්වූවන්ගේ කොමිසම විසින් ලබාදෙන වාර්තාවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

එළඹෙන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවට පළවන පුවත් සම්බන්ධයෙන් විමසන ලදුව ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරණයකට තමන්ට හදිසියක් නොමැති බවයි.

ඊළඟට පවත්වන්නට නියමිතව ඇත්තේ මහමැතිවරණයක් වුවද, විපක්ෂය විසින් ඉල්ලා සිටිනු ලබන මහමැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් ලබාදෙන්නට තමන් සූදානම් බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.