ජනරාල් ජානක පෙරේරා ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

ජනරාල් ජානක පෙරේරා ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

April 23, 2014   01:04 pm

මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු පුද්ගලයින් 29 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විත්තිකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ විත්තිකරුවන් දෙදෙනා අද(23) දිනයේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසාවිනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව අදාළ විත්තිකරුවන් දෙදෙනා මෙම මස 28 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්, එදිනට සැකකරුවන් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබේ.

මේජර් රෙජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු පුද්ගලයින් 29 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු චෝදනා ලැබ සිටි අතර ඉන් සැකකරුවන් තිදෙනෙකු මීට පෙර නිදහස් කෙරුණි.

කෙසේ වෙතත් මේ වනවිට මෙම විත්තිකරුවන් දෙදෙනා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටියි.

2008 වසරේ ඔක්තෝබර් මස 06 වන දින අනුරාධපුරයේ දී එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මේජර් රෙජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණි.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.