වසර 2100දී මිහිතලයේ උණුසුම සෙල්සියස් අංශක 3.7 - 4.8 දක්වා වැඩිවෙයි?

වසර 2100දී මිහිතලයේ උණුසුම සෙල්සියස් අංශක 3.7 - 4.8 දක්වා වැඩිවෙයි?

April 15, 2014   09:07 am

කාබන් දහන බලශක්ති භාවිතයෙන් කඩිනමින් ඉවත් විය යුතු බවට එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය නියෝජිත මණ්ඩලය විසින් ලෝකයට අනතුරු අඟවා තිබේ.

මිනිස් ක්‍රියාකාරකම් සහ නිෂ්පාදන ක්‍රියාවලියේ අතුරු ප්‍රතිඵල වශයෙන් සිදුවන පරිසර දූෂණය සහ මිහිතලයේ උණුසුම ඉහළ යාම අතර පවතින සබඳතාව පිළිබඳ වාර්තාවක් පසුගියදා ජර්මනියේ බර්ලින් නගරයේ දී ප්‍රකාශයට පත්කෙරුණි.

පෙට්‍රල් සහ ගල් අඟුරු භාවිතය හේතුවෙන් වායුගෝලයට එක් කෙරෙන කාබන් ප්‍රමාණය ඉහළ යන බැවින් පුනර්ජනනීය බලශක්ති මූලයන් වෙත යොමුවිය යුතු බව එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය නියෝජිත මණ්ඩලය සිය වාර්තාවෙන් පෙන්වාදෙයි.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් දියුණු කාර්මික රටවලට චෝදනා එල්ල වේ.

වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින චීනය සහ ඉන්දියාව ද පොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් වායුගෝලයට වැඩි වශයෙන් කාබන් එක් කරන රටවල් ලෙස හඳුනාගෙන ඇත.

අවට මුහුදේ ආම්ලික තත්ත්වය ඉහළ යාමෙන් ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යවලට ද දේශගුණික විපර්යාස හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වනු ඇති බව පරිසර විද්‍යාඥයින් පෙන්වාදෙයි.

මෙරට තුළ වර්ෂාපතන රටාවේ වෙනස්කම් ඇති වීමට ද මෙම තත්ත්වය බලපා තිබේ.

පවතින තත්ත්වය හමුවේ වසර 2100 පමණ වන විට මිහිතලයේ උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක තුනයි දශම හතත්, හතරයි දශම අටත් අතර මට්ටමකින් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය නියෝජිත මණ්ඩලය නිකුත් කර ඇති වාර්තාව මගින් පෙන්වා දී ඇත.