මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 29ක් ඝාතනයේ විත්තිකරුවන් රිමාන්ඩ්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 29ක් ඝාතනයේ විත්තිකරුවන් රිමාන්ඩ්

April 4, 2014   04:42 pm

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහාධිකරණය නියෝග කර තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසාවිනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

2008 වසරේ ඔක්තෝබර් මස 06 වන දින අනුරාධපුර ප්‍රදේශයේ දී මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක් විය.

සිද්ධියට අදාළව සැකකරුවන් පස් දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබු අතර ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් ඉන් තිදෙනෙකු චෝදනාවලින් නිදහස් කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කර තිබුණි.

ඒ අනුව විත්තිකරුවන් දෙදෙනෙකුට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කෙරුණි.

අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ නඩුව විභාග කිරීමට පත්කර සිටි උතුරු මැද පළාත්බද හිටපු මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා රාජකාරිමය හේතුවක් මත මහාධිකරණය වෙත නොපැමිණීම හේතුවෙන් විත්තිකරුවන් දෙදෙනා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

එහිදී විත්තිකරුවන් දෙදෙනා ලබන මස 10 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසාවිනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.