ඩක්වත් ලුවිස් ලංකාව අවසන් තරඟයට ගෙනයයි

ඩක්වත් ලුවිස් ලංකාව අවසන් තරඟයට ගෙනයයි

April 3, 2014   10:29 pm

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය.

බංග්ලාදේශයේ පැවැත්වෙන මෙම තරඟාවලියේ කොදෙව්වන් හා ශ්‍රී ලංකාව අතර පළමු අවසන් පූර්ව තරඟය අද ආරම්භ විය.

එහිදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 160ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 23දී වේගවත් ලකුණු 40ක්, ලහිරු තිරිමාන්න ලකුණු 44ක්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 39ක්, කුසල් ජනිත් පෙරේරා ලකුණු 26ක් ලබා ගනිමින් වැඩිම ලකුණු ලාභින් බවට පත්විය.

කුමාර් සංගක්කාර ලකුණු 1ටත් මහේල ජයවර්ධන ලකුණු නොලබාම දුවද්දී දැවීයාමකටත් හසුවිය.

පිළිතුරු වශයෙන් කොදෙව්වන් පන්දුවාර 13.5ක් අවසන කඩුලු 4ක් දැවී ලකුණු 80ක් ලබා සිටියදී ඇද වැටුණු ධාරාණිපාත වර්ෂාව සමග තරඟයට වර්ෂාවෙන් බාධා සිදුවිය.

ඉන් අනතුරුව තරඟය ආරම්භ කිරීමට නොහැකි වූ අතර ඒ අනූව ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාවට ලකුණු 27ක ජයක් හිමිවිය.

ඒ අනූව මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව 20-20 තරඟාවලියේ අවසන් මහ තරඟයට තේරීපත් වූ අතර දෙවන අවසන් පූර්ව තරඟය දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර හෙට පැවැත්වීමට නියමිතය.