පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය දරන ලංකා රජය එහි හරය ආරක්ෂා කිරීමට අපොහොසත්

පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය දරන ලංකා රජය එහි හරය ආරක්ෂා කිරීමට අපොහොසත්

March 11, 2014   06:14 am

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවට තවත් සංශෝධන එක්විය යුතු බව රටවල් කිහිපයක් පවසා තිබේ.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඊයේ ජිනීවා නුවර පැවති නිල නොවන සාකච්ඡා වලදී මේ පිළිබඳව අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව තවදුරටත් දැඩි විය යුතු බව කැනඩාව, ස්විස්ටර්ලන්තය සහ බටහිර යුරෝපා රටවල් කිහිපයක් එහිදි දැනුම් දී තිබේ.

මේ අතර මානව හිමිකම් සහ නීති රීතිවලට ශ්‍රී ලංකාව ගෞරව කළ යුතු බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ස්ටෙපන් හාපර් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව බලවත් කනගාටුව පළ කරන බවයි.

ඊයේ දිනයට යෙදී ඇති පොදුරාජ්‍ය මණ්ඩලයීය දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් කැනේඩියානු අග්‍රාමාත්‍ය ස්ටෙපන් හාපර් මෙම අදහස් පළ කර තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය සංගමයේ වර්තමාන සභාපතීත්වය උසුලන ශ්‍රී ලංකා රජය පොදුරාජ්‍ය මණ්ඩලයේ හරය ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

මානව හිමිකම් සහ නීති රීතිවලට ගරු කිරීම සඳහා කැනඩාව නිරන්තරයෙන් ශ්‍රී ලංකා රජයට බල කර සිටින බව කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාගනී වාගීෂ්වර මහත්මිය පෙන්වා දෙන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල අරමුණු වෙනුවෙන් ශ්‍රී ලංකාව නිරන්තරයෙන් කැපවී සිටින බවයි.

ඒ සඳහා සියලු රටවලට අවශ්‍ය සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව ද වාගීෂ්වර මහත්මිය මෙහිදී පෙන්වාදී තිබේ.