ජානක පෙරේරා ඝාතන සැකකරුවන් යළි රිමාන්ඩ්

ජානක පෙරේරා ඝාතන සැකකරුවන් යළි රිමාන්ඩ්

December 10, 2013   02:44 pm

උතුරු මැද පළාත් සභා හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විත්තිකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහාධිකරණය අද(10) නියෝග කර තිබේ.

විත්තිකරුවන් දෙදෙනා ලබන ජනවාරි මස 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියෝග කළේය .

සිද්ධියට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වු රජයේ නීතීඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා මෙම නඩුව විභාග කිරීම සඳහා පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරයා කැඳවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා මීළඟ නඩු දිනයේ සිට මෙම නඩුව පූර්වගාමී විනිසුරුවරයා වන උතුරුමැද පළාත් බද හිටපු මහාධිකරණ විනිසුරු සහ වයඹ පළාත් බද වත්මන් මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ඉදිරියේ විභාග කරන බව ප්‍රකාශයට පත් කළේය.

2007 වසරේ ඔක්තෝබර් මස 6 වැනිදා අනුරාධපුරයේ දී මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු විසි නව දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක් වුණි.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.