කැනඩාව තනිවෙලා - සමුළුවට ඕස්ට්‍රේලියාවේ පූර්ණ සහය දෙනවා

කැනඩාව තනිවෙලා - සමුළුවට ඕස්ට්‍රේලියාවේ පූර්ණ සහය දෙනවා

October 9, 2013   04:47 pm

ශ්‍රී ලංකා‍වේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව සාර්ථක කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු ඇමතිනි ජුලියා බිශප් මහත්මිය ප්‍රසිද්ධියේ පවසා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේදී පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සාර්ථකවේ නම් ඔවුන්ගේ ප්‍රයත්නයක් සාර්ථක වූවා සේ සලකන බව පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් කිහිපදෙනෙකු තමන් සමඟ ප්‍රකාශ කළ බව ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව ඔවුන්ගේ උපරීම සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවද අද(09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.

එසේම මේ වන විට පොදු රාජ්‍ය මණ්ඩලීය නායකත්වය දරන්නේ ඕස්ට්‍රෙලියාව බවත්, ශ්‍රී ලංකාවට එම නායකත්වය ලබන නොවැම්බර් මාසයේදී බාරදෙන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව වසර 2ක කාලයක් පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වය ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දරන බවද හෙතෙම කීවේය.

1976 නොබැදි සමුළුව මෙරටේදී පැවැත්වූවාට පසුව ජාත්‍යන්තර මට්ටමේන් මෙරටේ පවත්වන විශාලතම සමුළුව මෙය වන බවද හෙතෙම සඳහන් කළේය.

එසේම ඉතාමත් සතුටින් පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව සඳහා මෙරටට පැමිණේන බව ඒක්සත් රාජධාණියේ අගමැති, ඔස්ට්‍රෙලියාවේ අගමැති, නවසීලන්තයේ අගමැති සහ සිංගප්පූරුවේ අගමැතිවරයා පැහැදිළිවම ප්‍රකාශ කළ බවත්, මෙමගින් කැනඩාව සම්පූර්ණ වශයෙන් තනිවී ඇති බවත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ‍කිසිදු රටක් කැනඩාව සමඟ එකඟ නොවන බවද ඔහු වැඩි දුරටත් මාධ්‍ය හමුව අමතිමින් සඳහන් කර සිටියේය.