ආනමඩුව දිසා රෝහලේ වෛද්‍යවරු නෑ - රෝගීන් අසරණයි

ආනමඩුව දිසා රෝහලේ වෛද්‍යවරු නෑ - රෝගීන් අසරණයි

September 4, 2013   02:41 pm

වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් ආනමඩුව දිසා රෝහලට ප්‍රතිකාර හා සායනික කටයුතු සඳහා පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබේ.

දිසාරෝහලේ සේවය සඳහා වෛද්‍යවරුන් 05 දෙනෙකු යොදවා තිබුණ ද අද (04) දිනයේ සේවය සඳහා වාර්තා කර ඇත්තේ එක් වෛද්‍යවරයෙක් පමණක් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

වෛද්‍යවරුන් 05 දෙනාගෙන් දෙදෙනෙකු උණ රෝගයෙන් පෙලීම හේතුවෙන් සේවයට වාර්තා කර නොමැති අතර තවත් වෛද්‍යවරියක් ප්‍රසූත නිවාඩු ලබා ඇති බව සඳහන් වෙයි.

ඊයේ රාත්‍රියේ සේවයේ නිරතව සිටි තවත් වෛද්‍යවරයෙකු විවේක ගැනීම සඳහා රෝහලෙන් පිටව ගොස් ඇති බැවින් අද පෙරවරුවේ රාජකාරී සඳහා වාර්තා කර ඇත්තේ එක් වෛද්‍යවරයෙකු පමණක් බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

සාමාන්‍යයෙන් දිනකට රෝගීන් 400 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා ආනමඩුව දිසා රෝහල වෙත පැමිණෙන අතර මෙම තත්ත්වය තුළ දැඩි අපහසුතාවට පත්වූ බව අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම් .එස් රත්නායක මහතාගෙන් සිදුකළ විමසීමක දී ඔහු සඳහන් කළේ ආනමඩුව රෝහලේ උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් කිසිවෙකු හෝ තමා දැනුවත් කර නොමැති බවයි.