කච්චතිව් ගැන ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රතිචාරය විමසයි

කච්චතිව් ගැන ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රතිචාරය විමසයි

July 16, 2013   12:34 pm

කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් ඉදිරි පත්වූ පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බලා තිබේ.

ඉන්දීය ඩී.එම්. කේ පක්ෂයේ නායක කරුණානිධි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට හිමිකිරීම සම්බන්ධයෙන් වූ ගිවිසුම අවලංගු කරන ලෙස පවසමිනි.

අදාළ පෙත්සම අගවිනිසුරු අල්තමාස් කබීර් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණු අතර එහිදී මෙම පෙත්සම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ලෙස විනිසුරු මඩුල්ල ඉන්දීය මධ්‍යම රජයට දැනුම් දී ඇත.

1974 වසරේදී කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති වූ ගිවිසුම අහෝසි කර එය තමිල්නාඩු ප්‍රාන්තයේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බව කරුණානිධි සිය පෙත්සමෙන් සඳහන් කර තිබේ.

එමෙන්ම කච්චතිව් දූපත නැවත පවරාගෙන ඒ අවට ඉන්දීය ධීවරයින්ට සිය ධීවර කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ද එම පෙත්සමේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඉන්දීය ධීවරයින්ට සහ ඔවුන්ගේ දේපළවලට නිරන්තරයෙන් හානි සිදුකරන බවත්, පීඩාවට පත් වූ එම ධීවරයින්ට බලධාරින් විසින් වන්දි ගෙවිය යුතු බවත් කරුණානිධි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමේ වැඩිදුරටත් සඳහන්ය.