මාධ්‍ය වාර්තා බොරු - රාජ්‍ය නායක සමුළුවට සැප වාහන නෑ

මාධ්‍ය වාර්තා බොරු - රාජ්‍ය නායක සමුළුවට සැප වාහන නෑ

May 23, 2013   11:03 am

එළඹෙන නොවැම්බර් මාසයේදී මෙරට පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා රජය මෝටර් රථ ආනයනය කිරීමට අදහස් කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

විශාල මුදලක් වැයකොට රෝල්ස් රෝයිස් හා බී.එම්.ඩබ්ලිව් මෝටර් රථ ආනයනය කිරීමට යන බවට පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා සම්පූර්යෙන්ම අසත්‍ය බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙයි‍.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා සියලූම වැය කිරීම් පවත්නා අයවැය ප්‍රතිපාදන මගින් පියවා ගනු ලබන අතර ඒ සඳහා අතිරේක අරමුදල් යොදා නොගන්නා බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ත්‍රස්තවාදී ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ සිදුවී ඇති සංවර්ධන කටයුතු හා රට තුළ පුළුල් වී ඇති ආර්ථික ඉඩ ප්‍රස්ථාවන් ලොවට විදහා දැක්වීමට මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවේ දී හැකියාව පවතින බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට ආණ්ඩුව විශාල මුදලක් වැය කරන බවත් සුඛෝපභෝගි වාහන ගෙන්වන බවටත් විපක්ෂය විසින් පසුගිය දිනවල චෝදනා කර තිබුණි.