විලවුන් නිපදවීමේ මහා පරිමාණ ජාවාරමක්

විලවුන් නිපදවීමේ මහා පරිමාණ ජාවාරමක්

May 23, 2013   09:19 am

මහාපරිමාණයෙන් විලවුන් වර්ග නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජාතික ඖෂධ අධිකාරිය පවසයි.

නිසි අවසරයකින් තොරව අදාළ විලවුන් නිෂ්පාදනාගාරය ගම්පොළ ප්‍රදේශයේ පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා සඳහන් කළේය.

මෙම නිෂ්පාදනාගාරයේ නිපදවන ලද විලවුන් වර්ග තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී පසුගිය 21 වැනි දින ජාතික ඖෂධ අධිකාරියේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.

ඒ අනුව අදාළ නිෂ්පාදනාගාරය වැටලීමට පියවර ගත් බව වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා ප්‍රකාශ කළේය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව විලවුන් වර්ග සහ විටමින් වර්ග සඳහා වෙළද දැන්වීම් ප්‍රචාරය කළ ආයතන 35 කට නඩු පැවරීමට ද පියවර ගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ආයතන 35 ක් සඳහා මෙම නඩු පැවරීම සිදුකර ඇති බව ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා සඳහන් කළේය.

විලවුන් වර්ග සහ විටමින් වර්ග සඳහා ප්‍රචාරණ කටයුතුවලට ජාතික ඖෂධ අධිකාරියේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

එහෙත් අදාළ සමාගම් කිසිදු අනුමැතියකින් තොරව වෙළද දැන්වීම් ප්‍රචාරය කර ඇති බව වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා සඳහන් කළේය.