ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණ ඕන නෑ

ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණ ඕන නෑ

May 22, 2013   03:54 pm

ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණ අවශ්‍යය නැති බවත්, ඡන්ද බලයෙන් එය පෙරළීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට තානාපතිනියක මන්ත්‍රීවරුන් පිරිසක් සමග සාකච්ඡා පවත්වමින් ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණය කරන බව පසු ගියදා මාධ්‍ය වාර්තා පළවූ බව වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

ජර්මන් ආධාර ලබන"ෆෙඩ්‍රික් නියුමාන් ෆවුන්ඩේෂන්" නමැති ස්වේච්ඡා සංවිධානය විසින් මන්ත්‍රීවරුන් උදෙසා පවත්වන ලද වැඩමුළුවක් වැරදි " ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණයක්" ලෙස හඳුන්වා ගෙන ගිය ප්‍රචාරය නිසා මේවන විට එම වැඩමුළුවට සහභාගීවූ මන්ත්‍රීවරුන්ට පවා ගැටලු සහගත තත්ත්වයකට මුහුණදෙන්නට සිදුව ඇති බව ඔහු අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එකී වැඩමුළුවේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ සාගරිකා දෙල්ගොඩගෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රශ්න කර ඇති බවත්, ඉදිරියේදී මන්ත්‍රීවරුන්ටද මෙවැනි තත්ත්වයකට මුහුණදෙන්නට සිදුවිය හැකි බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

තමන් ඇතුළු විපක්ෂය 2014 මහ මැතිවරණයට මුහුණදීම සඳහා සූදානම් වන බවත්, එහිදී මෙවැනි වැඩමුළු හා සාකච්ඡා වැදගත් බවත් සිහිපත් කළ හෙතෙම එවැනි ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයන් නොඉවසීම පිළිබඳ කනගාටුව පළ කළේය.

මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් බවද විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.