රතු වැස්සේ යකඩ ඉතා ඉහළ මට්ටමක

රතු වැස්සේ යකඩ ඉතා ඉහළ මට්ටමක

November 20, 2012   03:16 pm

ප්‍රදේශ කිහිපයකට ඇද හැලුණු රතු වැස්සේ ජල සාම්පලවල යකඩ ඉතා ඉහළ මට්ටමකින් අඩංගු බවට අනාවරණය වී තිබේ.

සාමාන්‍ය වැසි ජලයේ යකඩ කිසිසේත්ම අඩංගු නොවිය යුතු අතර මෙම රතුවැස්සේ මිලිලීටර් එකක ජල පරිමාවක 4% ම යකඩ අඩංගු බවට රසායනාගාර පර්යේෂණවල දී තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් මෙම ජල සාම්පලවල මෙවැනි විශාල යකඩ ප්‍රමාණයක් අඩංගු වුයේ කෙසේ ද යන්න පිළිබඳ පරික්ෂණ පැවැත්වීම සඳහා එම ජල සාම්පල අද (20) දිනයේ කාර්මික තාක්ෂණ ආයතනයට යවන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් තවදුරටත් වෛද්‍ය පර්යේෂණ සිදුකිරීම සඳහා වෛද්‍යවරු හය දෙනෙක් රතු වැස්ස ඇද හැලුණු ප්‍රදේශවලට යැවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

පසුගිය දිනවල සෙවනගල, මනම්පිටිය, හිඟුරක්ගොඩ සහ පදියතලාව යන ප්‍රදේශවලට රතුවැස්සක් පතිත වී තිබු අතර එහි ජල සාම්පල පරීක්ෂණ ගණනාවකට ලක් කරනු ලැබීය.