ලංකා හොස්පිට්ල්ස් 400 වැනි IVF දරු උපත සමරයි

October 24, 2012   09:47 am

ලංකා හොස්පිට්ල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානය අද (23) දින 400 වැනි IVF දරු උපත සමරන ලද අතර එය මෙරට සාඵල්‍යතා මධ්‍යස්ථානයකින් සිදුකෙරුණු වැඩිම උපත් සංඛ්‍යාව වේ. වසර 2008දී IVF තාක්ෂණය හඳුන්වාදීමෙන් අනතුරුව උපත් 400ක් සිදුකරන ලද මෙම මධ්‍යස්ථානයෙ හි දැනට සත්කාර ලබන ගර්භනී මව්වරුන් සංඛ්‍යාව 150කි. එය ශ‍්‍රී ලංකාවේ COH IVF චක‍්‍රයේ වැඩිම සාර්ථකත්ව අනුපාතය වන 43% අත්පත් කරගෙන ඇත.

මේ පිළිබඳව සිය අදහස් පළ කරමින් ලංකා හොස්පිට්ල්ස් හි ප‍්‍රධාන විධායක නිලධාරී ලකිත් පීරිස් මහතා මෙසේ පැවසීය. ‘‘අපගේ සාඵල්‍යතා මධ්‍යස්ථානයෙහි සාර්ථකත්ව අනුපාතය ලොව විශිෂ්ටතම IVF මධ්‍යස්ථානයන් හි අනුපාතයන්ට සමගාමීව පවතිනවා. ලංකා හොස්පිට්ල්ස් හි අප උපත යන්න පූජනීයත්වයෙන් සලකන අතර අපගේ උපත් මධ්‍යස්ථානය සඳහා විශිෂ්ටතම කාර්ය මණ්ඩලයක් යොදවා ඇත්තේද ඒ නිසාමයි. අපගේ සාඵල්‍යතා මධ්‍යස්ථානයෙන් 399 වැනි සහ 400වැනි බිළිඳුන් වශයෙන් නිවුන් දරුවන් බිහිවූ අතර ඔවුන්ගේ දෙමව්පියන් වෙත මාගේ සුබපැතුම් පිරිනමනවා.’’

මධ්‍යස්ථානය තුළ කළල ගබඩා කිරීම සඳහා අති නවීන තාක්ෂණය භාවිත කෙරෙන අතර විට්‍ර්ෆිකේෂන් (Vitrification) සත්කාරයන් සිදුකළ හැකි ශ‍්‍රී ලංකාවේ එකම ස්ථානය වන්නේද ලංකා හොස්පිට්ල්ස් උපත් මධ්‍යස්ථානයයි. දෙමව්පියන්ගේ දත්ත ගබඩා කිරීම සඳහා ද මධ්‍යස්ථානය තුළ ක‍්‍රමවත් ක‍්‍රියාදාමයක් සිදුකෙරන අතර එහිදී ශුක‍්‍ර සාම්පල ආදිය සංකේතගත කෙරේ.

ලංකා හොස්පිට්ල්ස්හි සායනික කළල වෛද්‍ය මදාර රැළපනාව මහතා විසින් කළමනාකරණය කෙරෙන මෙම උපත් මධ්‍යස්ථානය රුපියල් මිලියන 75ක වියදමක් දරමින් වසර 2007දී බිහි කෙරුණි.

‘‘මෙවැනි උපත් මධ්‍යස්ථානය පවත්වාගෙන යාමේදී අත්‍යාවශ්‍ය වන දැඩි කැපවීමෙන් යුත් කාර්ය මණ්ඩලයක් අප සතු වෙනවා. මධ්‍යස්ථානයෙහි සාර්ථකත්ව අනුපාතය සඳහා ඉවහල් වී ඇත්තේ ඔවුන්ගේ නිපුණතාවන් සහ අප සැමගේ දැනුම් සම්භාරයයි.’’ යනුවෙන් වෛද්‍ය මදාර පැවසුවේය.

උපත් මධ්‍යස්ථානය තුළ අති දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන්, ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්, කළල වෛද්‍යවරුන්, මෞත‍්‍ර ලිංගික වෛද්‍යවරුන් සහ විකිරණ ශිල්පීන් සේවය කරන අතර සාඵල්‍යතා ගැටලු ඇතිකෙරෙන මූලික ගැටලු හඳුනා ගැනීමට ඔවුහු කටයුතු කරති. වෛද්‍ය මදාර මහතා සමගින් ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය නිෂේන්ද්‍ර කරුණාරත්නගේ ප‍්‍රමුඛත්වයෙන් යුතු වෛද්‍ය කණ්ඩායම වෙතින් විවිධ මට්ටමේ උසස් ප‍්‍රතිකාරයන් සිදුකෙරේ.

‘‘උපත් මධ්‍යස්ථානය මගින් සැපයෙන උසස් සේවා තත්ත්වයන් මෙන්ම ප‍්‍රතිකාර සඳහා අයකෙරෙන සාධාරණ මුදල හේතුවෙන් එක්සත් රාජධානිය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, මාලදිවයින සහ මැදපෙරදිග බොහෝ රටවල යුවළ මෙහි ප‍්‍රතිකාර සඳහා පැමිණෙති. දේශීය දෙමව්පියන් ද සමග මසකට එසේ පැමිණෙන මුළු රෝගීන් සංඛ්‍යාව රැසකි. අවුරුදු 50ක් දක්වා වන විවාහක කාන්තාවන්ට අපගේ මධ්‍යස්ථානය මගින් IVF ප‍්‍රතිකාර සිදුකරනවා’’, යැයි වෛද්‍ය මදාර රැළපනාව මහතා පැවසීය.