20/20 තරගවල ආරක්ෂාව තරකරයි

September 23, 2012   02:53 pm

දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීමත්, තරගය නැරඹීමට ඉඩ නොදීමත් හේතුවෙන් කුපිත වු ක්‍රීඩා ලෝලීන් පිරිසක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ කලහකාරි ලෙස හැසිරීම නිසා ඉදිරි තරගවලට දැඩි ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබේ.

ඊයේ (22) පැවැති තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 32ක පරාජයක් අත්විය.

එසේම මෙම තරගය නැරඹීමට ප්‍රවේශපත්‍ර නොදීම නිසා යැයි පවසමින් එම ප්‍රදේශයේම පිරිසක් ක්‍රීඩාංගණයෙන් පිටත කලහකාරී ලෙස හැසිරී ක්‍රීඩාංගණයේ දේපළවලට අලාභහානි කර ඇතැයි සඳහන්ය.

වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගය පන්දුවාර 7ට සීමා කිරීමට සිදුවිය.

කෙසේ හෝ තරගයට සහභාගි වු කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ගේ මෙන්ම ක්‍රීඩා ලෝලීන්ගේ ආරක්ෂාවට ඉන් ගැටලුවක් නොවු බව මෙම තරගාවලියේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කරන කැමිලස් අබේගුණවර්ධන මහතා පවසා තිබේ.

අදාළ පිරිස තරගය නැරඹීමට ප්‍රවේශපත්‍ර නොමැතිව ඇතුළුවීමට උත්සහ කළ නිසා මෙවැනි තත්ත්වයක් හටගත් බව ඔහු පෙන්වා දී ඇත.

එහෙත් ඊයේ ඇති වු මෙම තත්ත්වයත් සමඟ කොළඹ ඇතුළු පල්ලේකැලේ ක්‍රීඩාංගණවල පැවැත්වෙන තරග සඳහා දැඩි ආරක්ෂාවක් ලබාදීමට තීරණය කර තිබේ.