ජනපති මහින්දට විරෝධයපෑ අය අත්අඩංගුවේ

September 20, 2012   11:53 am

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ගේ ඉන්දීය සංචාරයට විරෝධය පෑ තිරුමාවලර්ගේ නායකත්වයෙන් යුතු විඩුදලෙයි සිරිතෛහල් පක්ෂයේ 30 දෙනකු තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තිරිච්චි ප්‍රදේශයේ ශ්‍රී රංගම්හි ධාවනය වෙමින් පැවති දුම්රියක් නවත්වා උද්ඝෝෂණයක් පවත්වමින් සිටියදී අද (20) මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය වාර්තා උපුටා දක්වයි.

එසේම වේන් මුරුගන්ගේ නායකත්වයෙන් යුතු"තම්ලහර් වාර්වුරි මෛයි" පක්ෂයේ සාමාජිකයින් 200 ක පමණ පිරිසක්ද කාංචිපුරම් හිදී අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට විරෝධය දක්වා මේවන විට අන්තවාදී පිරිස් තමිල්නාඩු ප්‍රාන්තය පුරාම දුම්රිය සේවා අඩාල කරවීමට කටයුතු කරමින් සිටින බව එරටින් ලැබෙන අලුත්ම වාර්තා තහවුරු කරයි.