කේන් ශ්‍රී ලංකා වෙළඳ සබඳතා සමුළුවෙන් වාසි රැසක්

September 11, 2012   09:38 am

(ඡායා රූ - ආචාර්ය සුනිල් භාරති - කෙයාන් සන්නිවේදන අංශ ප්‍රධානී සමුළුව අමතමින් )

ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් ගවේෂණයේ යෙදෙන ප්‍රමුඛතම සමාගම වන කේන් ලංකා පුද්ගලික සමාගම විසින් අද (10) කොළඹදී වෙළඳ සබඳතා සමුළුවක් පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් යන අංශයන්ගේ වර්ධනය උදෙසා කේන් සමාගම සමග සම්බන්ධ වීමට දේශීය ව්‍යාපාරික ප්‍රජාව දිරි ගැන්වීම මෙහිදී සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතුවලින් දේශීය ව්‍යාපාරික ප්‍රජාවට සහ ආයතනවලට වාසි සැලසෙන්නේ කෙසේද යන්න සලකා බැලීම සඳහා මෙම සමුළුව සංවිධානය කෙරිණි.

තෙල් සහ ගෑස් පිළිබඳ විවරණයට අමතරව, ලංකාවේ ව්‍යාපාරිකයන්ට කේන් සමාගමේ නිලධාරින් සමග සුහදව හමුවී එම සමාගම සමග ව්‍යාපාරික වශයෙන් සම්බන්ධ විය හැකි ක්‍රම සහ අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමත් මෙම සමුළුව තුළින් සිදු විය. ශ්‍රී ලංකාවේ ඉදිරියේදී සිදු කිරීමට නියමිත ගවේෂණ කටයුතුවලට අදාළ අවශ්‍යතාවන් සම්බන්ධයෙන්ද මෙහිදී දේශීය ව්‍යාපාරිකයන් සමග අදහස් හුවමාරු කර ගැණිනි. එමෙන්ම කේන් සමාගමේ වැදගත්ම අංශයක් වන එමෙන්ම සෞඛ්‍යය, ආරක්ෂාව සහ පරිසරය ( Health, Safety, Environment - HSE commitment) ආරක්ෂා කිරීම සඳහා සමාගමේ ඇති කැපවීම පිළිබඳවද, තමන් සමග සම්බන්ධ වන ව්‍යපාරිකයන්ට එහි ඇති වැදගත්කම ද, මෙහිදී දේශීය ව්‍යාපාරික ප්‍රජාවට පෙන්වා දෙන ලදී.

කේන් සමාගම සමග වෙළඳ සබඳතා ඇති කර ගැනීම ගැන ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කරන අතරම, එතුළින් දේශීය ව්‍යාපාර ආයතනවලට තෙල් සහ ගෑස් අංශය සමග වෙළඳ සම්බන්ධතා වර්ධනය කරගැනීමට ද හැකියාව ලැබෙන ආකාරය පෙන්වාදීම සමුළුවේ තවත් අරමුණක් විය.

ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ගවේෂණ කටයුතු මීළඟ තලයට ගෙනයාම වෙනුවෙන් මෙරට දේශීය ව්‍යාපාරික ප්‍රජාව සමග සම්බන්ධ වීමේ සහ ඔවුන් දිරිගැන්වීමේ අවශ්‍යතාව කේන් සමාගම හඳුනාගෙන සිටියි. ශ්‍රී ලංකාවේ තෙල් කැනීම් කටයුතුවල දෙවන අදියරට මේ වන විට කේන් පිවිස ඇති අතර, එය සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යාපාරික ප්‍රජාවේ සහය අත්‍යවශ්‍ය බව සමාගමේ විශ්වාසයයි.

ව්‍යාපාර සහකරුවන් සහ සේවා සපයන්නන් 46 ක් මෙම වැඩසටහන නියෝජනය කළ අතර, 70 කට අධික පිරිසක් සැසියට සහභාගි වූහ.

මෙම වැඩසටහන අමතමින් අදහස් දැක්වූ කේන් ඉන්දියා සමූහයේ ගවේෂණ අංශ ප්‍රධානී කහාල් ඩේලි මහතා සඳහන් කළේ මෙහි මූලික අරමුණ වන්නේ ව්‍යාපාරික ප්‍රජාවට සමාගමේ සැපයුම්දාමය සමග සම්බන්ධ වීමට අවස්ථාව සලසා දීම සහ සමාගමේ වර්ධනය තුළින් ඔවුන්ට වාසි සැලසීම බවත්ය. "මෙම ව්‍යාපෘතිය වර්ධනය වීමත් සමග, විශේෂයෙන්ම ඛනිජ තෙල් සංවර්ධන අංශයට මෙය ළඟාවූ පසු, මෙයින් දිගු කාලීන වාසි රාශියක් සැලසේ යැයි අපේක්ෂා කරනවා," යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ, 2007 -01-001 කොටසේ තෙල් ගවේෂණයේ යෙදෙන කෙයාන් සමාගම මේ වන විට එහි පළමු අදියර සම්පූර්ණ කර අති අතර, එහිදි කැනීම් තුනක් සිදු කර සාර්ථක සොයා ගැනීම් දෙකක් සිදු කළේය. මේ වන විට සමාගම එහි දෙවන අදියරට අවතීර්ණ වී ඇති අතර දැනට වර්ග කිලෝමීටර් 600ක් අත් කරගෙන එහි ත්‍රිමාණ භූගෝලීය දත්ත ලබා ගෙන තිබේ. මේ වන විට එම දත්ත ඇගයුමට ලක් කරමින් සිටින අතර දෙවන අදියරේ ගවේෂණ කැනීම් 2013 වසරේ මැද ඇරඹීමට සැලසුම් කර ඇති අතර, මේ වන විට එයට අදාළ ටෙන්ඩර් සහ සෙසු කටයුතු සිදුවෙමින් පවතී.

ඛනිජ තෙල් සම්පත් ගිවිසුමෙහි ඇතුළත් කරුණු වලට අදාළව සමාගම දැනට සිදු කොට ඇති සාර්ථක ගවේෂණවලින් ලබා ගත හැකි වාණිජ ප්‍රතිඵල සම්බන්ධ තොරතුරු මේ වන විටත් ඉදිරිපත් කර ඇත.