රජයේ වෛද්‍යවරුන් රාජකාරිය අත්හරියි

August 16, 2012   02:32 pm

දෙහිවල පිහිටි වෛද්‍යවරයෙකුගේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමට විරෝධය පළ කරමින් හෙට (17) දිනයේ දී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් පවත්වන බව එම සංගමය සඳහන් කරයි.

අද (16) පෙරවරුවේ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ නිවසට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම මෙන්ම මීට පෙරාතුව ද අවස්ථා කිහිපයක දීම වෛද්‍ය සභාවේ වෛද්‍යවරුන්ට තර්ජන එල්ලවීමත් හේතු කොට ගෙන මෙම ක්‍රියා මාර්ගය ගන්නා බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නවීන්ද්‍ර සොයිසා මහතා අද දෙරණට කියා සිටියේය.

එසේම මේ සිදුවීමට අදාළව මේ වනවිට අද දහවල් 12.00 සිට බලපැවැත්වෙන පරිදි පැය 24 ක කාලයක් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් රාජකාරිවලින් බැහැරව සිටින බවද කියා සිටියේය.

පෙරවරුවේ සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟ අද දහවල් රැස්වූ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක සභාව විසින් මෙම තීරණය ගත් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.