දියවඩන නිලමේට මිලියන 50 ක වන්දියක් ගෙවන්නැයි නියෝගයක්

June 15, 2012   01:00 pm

ශ්‍රී දළදා මාලිගයේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 50 ක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය පුද්ගලයින් තිදෙනෙකුට අද(15) නියෝග කර තිබේ.

ඔවුන් ජාතික සම්පත් සුරැකීමේ සංවිධානයේ නිලධාරීන් බව සඳහන්ය.

නිලංග දෑල බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර තිබූ නඩුවක තීන්දුව ලබාදෙමින් කොළඹ දිසාවිනිසුරු ධම්මික ගනේපොල මහතා මෙම නියෝගය සිදුකර ඇත.

විත්තිකාර ජාතික සම්පත් සුරැකීමේ සංවිධානය දළදා මාලිගාවේ නව බුදුමැදුරේ තිබු රන් ආලේපිත බුදු පිළිම 23ක් අතුරුදන් වී ඇති බවට ප්‍රකාශයක් සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන් කර තිබුණි.

ඒ තුළින් තමන්ට අපහාසයක් සිදුවූ බව පවසමින් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් මෙම නඩුව පවරනු ලැබීය.

එම නඩුව විභාග කළ දිසා අධිකරණය පැමිණිලිකරුට අපහාසයක් සිදුවී ඇති බවට තීන්දු කරමින් මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.