භික්ෂූන්ට පාර්ලිමේන්තුව අකැපයි-විජේදාස රාජපක්ෂගෙන් නව පනත් කෙටුම්පතක්

May 31, 2012   05:12 pm

බෞද්ධ භික්ෂූන් ඇතුළු ආගමික පූජකවරයින්ට මන්ත්‍රීධූර දැරීමට ඉඩ ප්‍රස්ථාව නොදිය යුතු බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

බෞද්ධ මෙන්ම අනෙකුත් ආගම් නියෝජනය කරනු ලබන පූජකවරුන්ට මන්ත්‍රී ධූර දැරීමට නීතිමය වශයෙන් අශක්ත්‍රතාවක් ඇති කිරීම බොහෝ ජනයාගේ හිතසුව පිණිසම වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පතක් ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවට යාමෙන් රටට හෝ ජනතාවට කිසිදු සුගතියක් අත්ව නොමැති බවත්,අනෙකුත් සියලුම ආගමික පූජකවරුන් මෙවැනි ක්‍රියාදාමයන්ට සහභාගී නොවෙමින් ඔවුන්ගේ පූජකත්වයේගෞරවය හා පූජනීයත්වය ආරක්ෂා කරගෙන ඇති බව රාජපක්ෂ මහතා සඳහන් කරයි.

බෞද්ධ භික්ෂුන් වහන්සේලා මන්ත්‍රීවරුන් බවට පත්වෙමින් කටයුතු කිරීමේදී බොහෝ සෙයින් දක්නට ලැබෙන්නේ අන්තවාදී ප්‍රතිපත්තියක් බැවින් එය බහු ආගමික සමාජයකට හිත සුව පිණිස සිදු නොවන බව ද මන්ත්‍රීවරයා කියා සිටියි.

එසේ හෙයින් ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් පූජකවරුන්ට මන්ත්‍රී ධූර දැරීමට නීතිමය වශයෙන් අශක්ත්‍රතාවක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පත් යෝජනාව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස සැලකිය යුතු බවද නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එහි 89 වන ව්‍යවස්ථාප්‍රකාරව සවිස්තරාත්මකව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් දැරීමට නුසුදුසු පුද්ගලයන් කවුරුන්ද යන්න දක්වා ඇති බැවින් ඊට "89(ඔ)ඕනෑම ආගමික පූජකවරයෙකු"යන්න ඇතුළත් වන පරිදි මෙම සංශෝධනය සිදුවිය යුතු බවට මන්ත්‍රීවරයා යෝජනා කරයි.

7 වන පාර්ලිමේන්තුවේ කාල සීමාව අවසන්වීමෙන් හෝ විසුරුවා හැරීම සිදුවීමත් සමග මෙම සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බව රාජපක්ෂ මහතාගේ යෝජනාවයි.

කෙසේ වෙතත් අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමා විසින් මෙම පනත් කෙටුම්පත දැනටමත් කථානායකවරයා වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී එය සභාගත කිරීම සිදුවනු ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.