උතුරු මැද පළාත් සභාවේ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝයි

May 16, 2012   06:55 pm

නියමිත ධුර කාලයට පෙර උතුර මැද පළාත් සභාව විසුරුවා හැරීම වළකාලමින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට සහ ආණ්ඩුකාරවරයාට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය ජුනි මස 6 වැනිදා දක්වා යළි දීර්ඝ කර තිබේ.

දැනට පනවා ඇති මෙම අතුරු තහනම් නියෝගය ස්ථිර නියෝගයක් බවට පත්කරන්නේ ද නොඑසේ නම් එම වාරණ ‍නියෝගය විසුරුවා හරින්නේ ද නැද්ද යන්න පිළිබඳව නියෝගය එදිනට ප්‍රකාශයට පත්කරන බව උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද දැනුම් දී ඇත.

උතුරු මැද පළාත් සභාව නියමිත ධුර කාලයට එරෙහිව විසුරුවා හැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස එම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අනිල් රත්නායක මහතා උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණය හමුවේ පැවරූ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදී තිබේ.

මෙම නඩුවේ පළමු වගඋත්තරකරු වන පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ පායිස් මුස්තාෆා මහතා කියා සිටියේ මෙවැනි රිට් ආඥා නිකුත් කිරීමට උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි.

මෙම නඩුවේ පෙත්සම්කරු වැරදි ලේඛන සහ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර ඇති බව කියා සිටි නීතීඥවරයා මෙම නඩුව විභාගයට නොගෙන නිශ්ප්‍රභා කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී.

උතුරු මැද පළාත් සභා මැතිවරණය අවසන් වරට පැවැත්වූයේ ‍2009 වසරේ ජූලි මස 10 වැනිදා වන අතර එහි නිල ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2013 වසරේ අගෝස්තු මස 17 වැනි දිනය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.