ශ්‍රී ලංකාවේ ගැටලුවලට ලංකාවේම විසඳුමක්

May 16, 2012   02:31 pm

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව තුළින්ම බිහිවන දේශපාලන විසඳුමක් බවත් වෙනත් රට වලින් ලැබෙන දේශපාලන විසඳුම් තුළින් ශ්‍රී ලංකාවේ ගැටලුවලට නිසි විසඳුමක් නොලැබෙන බවත් ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කර ඇත.

තෙදින නිල සංචාරයක් සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ඇමරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් ඇති අතර එහිදී අමාත්‍ය වරයා ඇමරිකාවේ සෙනෙට් සභාවේ නායකයන් හමුවී ලංකාවේ දැනට පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමේදී මෙලෙස ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රීලංකාවට ඇති සියලු අවස්ථාවන් රජය හදුනාගෙන ඇති බවත් ශ්‍රී ලංකාවේ ගැටලු විසදීමට අවශ්‍ය විසඳුම් මේ වන විට ශ්‍රී ලංකාව තුළින්ම හදුනාගෙන ඇති බවත්, එල්.එල්.ආර්.සී නිර්දේශ දැනට ක්‍රියාත්මක කරමින් පවතින බවත් එම මහතා මෙහිදී ප්‍රකාශ කර ඇති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අතරම යුද්ධයෙන් පසු මුල්ම අවශ්‍යතාවය වූ නැවත පදිංචිකිරීමේ කටයුතු මේ වන විට 98% ප්‍රමාණයක් අවසන් කර ඇති අතර නැවත පදිංචි කිරීමේ කටයුතු වලට අමතරව ඔවුන්ගේ ජීවනෝපාය කටයුතු සංවර්ධනයට රජය කටයුතු කරමින් සිටින බව එහිදී අමාත්‍යවරයා පවසා තිබේ.

උතුරු පළාතේ ධීවර හා කෘෂිකාර්මික අංශ නඟා සිටුවීම නිසා මේ වන විට උතුරේ ආර්ථිකය 22% පමණ වර්ධනය වී ඇති බවත්, මුළු රටේම ආර්ථික වර්ධනය 8.3 දක්වා වර්ධනය වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.