එක්කෝටි අසූ ලක්‍ෂයක වියදමින් පාසල් 9ක් සංවර්ධනයට තෙල් සංස්ථාව අතගසයි

May 16, 2012   12:21 pm

දිවයිනේ සියලූ පළාත් 8ක් ආවරණය වන පරිදි ඉන්ධන බෙදුම්කරුවන්ගේ දායකත්වයෙන් රුපියල් එක්කෝටි අසූ ලක්‍ෂයක වියදමින් තෝරාගත් පාසල් 9ක් සංවර්ධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශය පියවර ගෙන තිබේ.

එක් පාසලක් සඳහා රුපියල් ලක්‍ෂ 20ක් බැගින් යෙදවීමට නියමිත අතර එම මුදල් වලින් අදාළ පාසලේ ගොඩනැගිල්ලක්, පරිගණක කාමරයක් හෝ පුස්තකාලයක් ඉදිකිරීමට නියමිතය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිතිකොට තෙල් සංස්ථාවේ සමාජ සත්කාරක සේවාවක් ලෙස ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කෙරේ.

ප‍්‍රාදේශීය වශයෙන් තෝරාගත් පාසල් 9ක් සංවර්ධනය කිරීමේ මෙම වැඩසටහන ලබන ඔක්තෝම්බර් මස 30ට පෙර අවසන් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශය සැලසුම් කර ඇති බව ඛනිජ තෙල් කර්මාන් අමාත්‍යංශය සඳහන් කරයි.