රජීව් ගාන්ධිත් ඊළාමයකට සහයදෙන තැනක හිටියා-කරුණානිධි සහතිකවෙයි

May 16, 2012   10:34 am

ස්වාධීන ද්‍රවිඩ ඊළාම් රාජ්‍යයක් ස්ථාපිත කිරීම කෙරෙහි ඉන්දීය හිටපු ආග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ අවධානය යොමුව පැවති බව තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය,ඩී.එම්.කේ පක්ෂ සභාපති එම්.කරුණානිධි පවසයි.

පළමු වරට ඉන්දීය කොංග්‍රස් පක්ෂය සමග එක්වී තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව එවක අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා හමුවූ අවස්ථාවේදී "ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් ද්‍රවිඩ ඊළාම් රාජ්‍යයක් ස්ථාපිත කිරීමට මාගේ උපරිම සහය දෙනවා"යයි අග්‍රාමාත්‍යවරයා පැවසූ බව හෙතෙම සඳහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.

එහෙත් ටික කලකින් විශ්වාසය පලුදුවීමේ ක්‍රියාවලියක් සිදුවූ බවත්,ඒ හේතුවෙන් කටයුතු වෙනතකට සිදුවූ බවත් කරුණානිධි පෙන්වා දෙයි.

ඊයේ දිනයේ චෙන්නායි හිදී පොත් කිහිපයක් එළිදැක්වීමේ උළෙලකට එක්වෙමින් හිටපු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පවසා ඇතැයි "දිනතණ්ඩි"වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉදිරියේදී තමාගේ නායකත්වයෙන් යුතු"ද්‍රවිඩ ඊළාම් සහායකයන්ගේ සංගමය"හෙවත් "ටෙසෝ"සංවිධානයේ වැඩපිළිවෙළ තුළින් ද්‍රවිඩ ඊලාමයක් දිනා ගැනීම වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරන බවද හෙතෙම එහිදී අවධාරණය කර තිබේ.