ශ්‍රී ලංකාවේ විස්සයි විස්සට ලිංගික දැලක් එළලා

May 9, 2012   12:56 pm

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩකයින්ට ලිංගික අල්ලස් ලබාදී තරග පාවාදීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවන බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය, මෙම"පැණි උගුල"සම්බන්ධයෙන් තදින් ක්‍රියාකරන බව පවසා ඇතැයි සඳහන් වේ.

මෙම කුමන්ත්‍රණය හෙළිදරව්වීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය දිල්ලි පොලීසියේ අපරාධ අංශය භාර නිලධාරීන් හමුවී ඇති බවත්,එහිදී හෙළිදරව් වී ඇති තොරතුරු සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඇති බවත් STAR News පෙන්වාදෙයි.

මේ වසරේ සැප්තැම්බර් මස 18 වන දින සිට ඔක්තෝම්බර් 07 වන දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවත්වෙන මෙම විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන කාලය තුළ ක්‍රීඩකයින් ඩැහැගැනීමට ඔට්ටු හිමිකරුවන් විසින් මෙම කුමන්ත්‍රණය දියත් කර ඇති බව සඳහන් වේ.

තරගාවලිය පැවැත්වෙන දින කිහිපයේ ශ්‍රී ලංකාවට පැමිණ තරු පහේ හෝටල්වල කාමර වෙන් කිරීමට හා ඔට්ටු හිමිකරුවන් හමුවී මෙම කුමන්ත්‍රණයේ කොටස්කාරියක බව කියන විමල් මර්වාහ් නමැති 40 හැවිරිදි කාන්තාවක පසුගිය මාර්තු මාසයේදී දිල්ලි පොලීසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය විසින් කොකේන් නමැති මත් ද්‍රව්‍යයද සැපයීමට සූදානම් වුණු බවට සැකකෙරෙයි.

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා සූදානම්ව සිටි මර්වාහ් නමැති මෙම කාන්තාව සතුව පැවති ගුවන් බල පත්‍ර කිහිපයක්,ගුවන් ටිකට්පත පොලිස් භාරයට ගෙන ඇති බවත්,මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියි.