සයුරෙන් එතෙර

බැන් කී මූන් අවුන් සාන් සුකී හමුවෙයි

May 1, 2012   04:27 pm

මියන්මාරයේ තෙදින නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් සහ අවුන් සාන් සුකී අතර විශේෂ හමුවක් පැවැත්වී තිබේ.

දෙදෙනා අතර මෙවැනි හමුවක් සිදුව ඇත්තේ ප්‍රථම වරටය.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පිහිටි නිව්යෝර්ක් නුවරට පැමිණෙන ලෙසට තමන් සිදුකළ ආරාධනය අවුන් සාන් සුකී විසින් පිළිගත් බව බැන් කී මූන් ප්‍රකාශ කර ඇත.

ඉදිරි කාලයේ දී මියන්මාරයේ තවදුරටත් ප්‍රජාත්‍රන්ත්‍රවාදය ස්ථාපිත වනු ඇති බවට වැඩිදුරටත් විශ්වාසය කරන බව ඔහු ප්‍රකාශ කරයි.

ඉකුත් අප්‍රේල් මස 01 වැනිදා පැවති මැතිවරණයේ දී අවුන් සාන් සුකී ඇතුළු 42 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්විය.

පාර්ලිමේන්තු සැසිවාරයන් ආරම්භ වී තිබුණ ද සුකී ඇතුළු පිරිස දිවුරුම් දීමට නියමිතව ඇත්තේ හෙට (02) දිනයේදීය.

එහෙත් පාර්ලිමේන්තු නියෝජිතයින් විසින් ලබාදිය යුතු දිවුරුමක වගන්තියක් සංශෝධනය කරන තුරු දිවුරුම් දීම ප්‍රතික්ෂේප කරන බව සුකී ඇතුළු කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

මේ අතර බැන් කී මූන් මියන්මාර පාර්ලිමේන්තු‍ව ද ඊයේ (30) දිනයේ අමතා ඇති අතර විදේශ ආගන්තුකයෙකු එරට පාර්ලිමේන්තුව ඇමතූ ප්‍රථම අවස්ථාව එය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.