සෙලාන් බැංකුවේ නව සභාපති නීතිඥ මොහාන් පීරිස්

April 26, 2012   03:05 pm

හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා සෙලාන් බැංකුවේ නව සභාපතිවරයා වශයෙන් පත්කර තිබේ. 2012 අපේ‍්‍රල් 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි බැංකුවේ අධ්‍යක්‍ෂවරයෙකු වශයෙන් හා නව සභාපතිවරයා වශයෙන් මොහාන් පීරිස් මහතා පත් කෙරුණු බව සෙලාන් බැංකුව නිවේදනය කර සිටියි.

ඔහු 2008 වසරේ සිට 2011 වසර දක්වා මෙරට නීතිපතිවරයා වශයෙන් කටයුතු කළේය. නීතිඥ වෘත්තිකයෙකු ලෙස වසර 37 කට අධික කාලයක් පුරාවට රාජ්‍ය හා පෞද්ගලික අංශයෙහි පීරිස් මහතා විසින් දරණ ලද තනතුරු, ඔහු ගේ මෙම පත්වීමට මනා පිටිවහලක් වනු ඇති බව නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

සිය අධ්‍යයන කටයුතුවල දී සුවිශේෂී කඩඉම් රැසක් පසුකර ඇති ඒ මහතා, නීතිමය කටයුතුවල දී පුද්ගලයින් හා ගැටලු‍‍ හඳුනාගනිමින් ඒවා සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමට සමත් ගැඹුරු විඥානයකින් හෙබි පුද්ගලයෙකු ලෙස ද හැඳින්විය හැකිය.

1975 වසරේ දී නීතිඥ වෘත්තියට ඇතුළත් වූ පීරිස් මහතා, 1978 දී එංගලන්ත හා වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස පත්වීම් ලද්දේය. 1981 සිට 1996 දක්වා කාලය තුළ නීතිපති දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය උපදේශකවරයෙකු වශයෙන් ඔහු කටයුතු කළේය. නීතිඥ වෘත්තියට ඔහු විසින් කරන ලද මෙහෙවර හේතුවෙන් 2004 වසරේ දී ජනාධිපති නීතිඥ තනතුරකින්ද හෙතෙම පිදුම් ලැබීය.

ශී‍්‍ර ලංකා මහා බැංකුවේ නීති උපදේශකවරයෙකු වශයෙන් ද මොහාන් පිරීස් මහතා කටයුතු කළ අතර එම කාලයේ දී බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන වෙනුවෙන් ආයතනික යහපාලන නියාමන රාමුවක් සැකසීම වෙනුවෙන් ඔහු පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. මෙරට බැංකු පනත, මූල්‍ය නීතිය, විනිමය පාලන පනත ඇතුළු බැංකුකරණ කි‍්‍රයාපටිපාටීන් පිළිබඳ හසළ දැනුමක් ඇති විද්වතෙකු වශයෙන් ද මොහාන් පීරිස් මහතා හැඳින්විය හැකිය.

එමෙන්ම Transnational Justice, Transitional Justice, Restorative Justice පාරිසරික නීතිය, ආයතනික යහපාලනය, මුදල් විශුද්ධිකරණය, මූල්‍ය ගනුදෙනු වාර්තාකරණයේ දී අදාළ වන නීතිය, තොරතුරු තාක්‍ෂණ නීතිය, අන්තර්ජාතික බේරුම්කරණය,දූෂණය පිටුදැකීමේ නීතිය, මානව හිමිකම් යනාදී විවිධ මාතෘකා ඔස්සේ නිරන්තරයෙන් කතාබහ කරන පුද්ගලයෙකු වශයෙන් ද මොහාන් පීරිස් මහතා ප‍්‍රචලිතය. සිවිල් ගුවන්සේවා අධිකාරියේ ආරම්භක සාමාජිකයෙකු හා අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වන පීරිස් මහතා, එක්සත් ජාතීන්ගේ සමුළුව ඇතුළු ජාත්‍යන්තර සමුළු ගණනාවක දීම මෙරට නියෝජනය කර ඇති රාජ්‍යතාන්ති‍්‍රකයෙකි.

බැංකු, මූල්‍ය හා වාණිජ්‍ය පිළිබඳ අත්දැකීම් රාශියකින් හෙබි මොහාන් පීරිස් මහතා සෙලාන් බැංකු අධ්‍යක්‍ෂ මණ්ඩලයට එක්වීම සැබැවින්ම බැංකුවේ ශක්තිය තවතවත් වැඩි කිරීමකි.