ඉනාමළුවේ හිමිට ඇත්තේ වෙනත් ප්‍රශ්නයක්

April 25, 2012   01:30 pm

දඹුල්ල රජමහා විහාර භූමිය පිළිබඳ විහාරවාසී හිමියන්ට,බෞද්ධ දායකයින්ට මෙන්ම ආන්දෝලනයට තුඩුදුන් මුස්ලිම් දේවස්ථානය පිහිටි ප්‍රදේශයේ අයිතිය මුස්ලිම් ජාතික කිහිපදෙනකුටද හිමි බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

විහාරභූමියේ අයිතිය මෙන්ම එහි ඉදිකිරීම් සම්බන්ධයෙන් මතුවී ඇති මතභේදය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට හැකිව තිබියදී බෞද්ධ ජනයා උසිගන්වා එය දැවැන්ත අර්බුදයක් බවට පත් කළ බව අමාත්‍යවරයා කියා සිටියේ අද(25)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

දඹුල්ල පූජා භූමි සංවර්ධන වැඩපිළිවෙල හය මාසයකින් ක්‍රියාත්මක කර අවසන් කරන බවත්, පූජා භූමි සංවර්ධන වැඩපිළිවෙලත් සමඟ සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කරන බවත් බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් කැෂියන් හේරත් මහතා පවසා ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා එය මාස 3 න් ඉටුකළද සාධාරණව සිදුවිය යුතු බව පෙන්වා දුන්නේය.

උද්ගත වූ අර්බුදය පිළිබඳ සත්‍ය තත්ත්වය හෙළිදරව් කළ යුතු බවත්,එසේ නොවුණහොත් විනාශයක් ඇති විය හැකි බවත් තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.

මෙහිදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූවානම් මෙවැනි තත්ත්වයක් උද්ගත නොවනු ඇති බව තමන්ද විශ්වාස කරන බවයි.

කෙසේ නමුත් මේවන විට මෙම ගැටලුව ජනාධිපතිවරයා මැදිහත්විය යුතු මට්ටමට අර්බුදයක් බවට පත්ව ඇති බවත්,ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය.

දඹුල්ල රජමහා විහාරයේ විහාරවාසී පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන්ට තමන් සමග ඇත්තේ දේශපාලන ගැටලුවක් බවත්,පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සුමංගල හිමියන් විසින්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කර තිබුණද,එකී අපේක්ෂකයා පරාජයට පත්වී තමන් යෙදූ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම එකී ගැටලුවේ ආරම්භය බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.

කෙසේ වෙතත් තමන්ට ස්වාමීන් වහන්සේ සමග පුද්ගලික තරහක් නැති වුවත්,ඉනාමළුවේ හිමියන් තමා කෙරෙහි ජන්මාන්තර වෛරයක් ඇතිකරගෙන සිටින බවත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.