ඔප්පු නොකළ චෝදනාවලින් ප්‍රශ්න වැඩිවෙනවා පමණයි

April 5, 2012   11:00 am

තහවුරු නොකරන ලද චෝදනාවලින් සහ ඊට එරෙහිව නැවතත් ඉදිරිපත්වන චෝදනාවලින් අපේක්ෂිත ප්‍රතිඵල අත්කරගත නොහැකි බව කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය පවසයි.

ජනතාව වෙත පවතින ගැටලු තවදුරටත් වර්ධනය කිරීම සඳහා පමණක් එය හේතුවන බව මහ කොමසාරිස්වරිය පෙන්වාදෙයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද ගැටුම්වලින් සෘජු බලපෑමකට ලක්වූ ජනතාව මුහුණදෙන ගැටලු ඒ තුළින් තවත් වර්ධනය වන බව ඇය සඳහන් කරයි.

The Star නැමති කැනේඩියානු පුවත්පතෙහි යන Festering wounds නමින් පළවූ ලිපියකට ප්‍රතිචාර දක්වමින් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා රජය හා ජනතාව විසින් රට නැවතත් ත්‍රස්තවාදී යුගයකට ‍හෝ යුද්ධයක් කරා ගමන්කිරීමට ඉඩ නොතබන බව ද එම මහත්මිය එහිදී පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති විසින් පිහිටුවන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබද ජනාධිපති කොමිසම අභ්‍යන්තර යාන්ත්‍රණයක් බව ද ඇය ප්‍රකාශ කර තිබේ.

අතීතයේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය නැවත සිදුවීම වැළැක්වීම තහවුරු කිරීමට හා සියලුම ප්‍රජාවන් අතර ජාතික සමගිය හා සමගි සන්ධානය වැඩිදියුණු කිරීමේ අරමුණින් එම කොමිසම ස්ථාපිත කරන ලද බව ද වාගීෂ්වර මහත්මිය පෙන්වා දී ඇති බව සඳහන්ය.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමග පැවති සිවිල් යුද ගැටුම් අවසන්වීමෙන් පසු මේ වනවිට ශ්‍රී ලංකාවාසී ජනතාව සාමයේ ප්‍රතිලාභ භුක්තිවිඳිමින් සිටින බව කැනේඩියානු මහ කොමසාරිස්වරිය පෙන්වා දී තිබේ.

එමෙන්ම සාමය හා ප්‍රතිසන්ධානය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා ජනතාව එක්ව අවශ්‍ය කටයුතු ඉදිරියට ගෙන යන බව ද ඇය සිය ප්‍රකාශය තුළින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.