ජනපති සමඟ සාකච්ඡාවට නීතිඥ සංගමය යයි

ජනපති සමඟ සාකච්ඡාවට නීතිඥ සංගමය යයි

August 12, 2026   01:10 pm

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම සංගමයට ලබාදුන් සාකච්ඡාව සඳහාය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය , විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක , සිවිල් සංවිධාන මෙන්ම ජාත්‍යන්තර නීති සංවිධානවලින් ද එල්ල වූ විරෝධය මධ්‍යයේ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා අනුමත කරනු ලැබීය.

ඒ අනුව, ඊට අදාළ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කෙරුණි.

එවන් පසුබිමක විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබදව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ස්ථාවරය පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකෙරුණි.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමග පැවති හමුවක දී ද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් සිදුකළේය.

ඒ අනුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙම සාකච්ඡාව සඳහා අවස්ථාව ලබාදී තිබේ.