ආදිවාසී අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය දැඩිව කැපවෙනවා - අගමැති
August 9, 2026 04:16 pm
ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය දැඩි ලෙස කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
වසර ගණනාවක් පුරා වැදිජනතාවගෙන් ඉල්ලා තිබූ ආදිවාසී පනත මේ වන විට ආමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බවත්, ආදිවාසීන් ඇතුළු අදාළ ආයතන සමඟ සාකච්ඡා කර ඉදිරි කටයුතු කඩිනමින් සිදු කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
"ආදිවාසී පාරම්පරික වින්නඹුමාතාවන්ට ගරු කිරීම: ජීවිතය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම" යන්න තේමා කර ගනිමින්, දඹාන ආදිවාසී ජන උරුම කෞතුකාගාර පරිශ්‍රයේදී පැවැති "ලෝක ආදිවාසී දිනය 2026" සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
"ආදිවාසී වැදි ජනතාව කියන්නේ පරිසරය සමඟ සමගාමීව ජීවත්වෙමින් පරිසරයම තම නිවහන කරගත් ප්‍රජාවක්. ගැබිනි සතුන් නොමැරීම, මී මැසි වද කඩද්දී මුළු වදයම විනාශ නොකිරීම වැනි සරල නමුත් ගැඹුරු පරිසර හිතකාමී සිරිත් විරිත් ඔවුන්ගේ ජීවන රටාව තුළ මුසු වී තිබෙනවා.
හිටපු ආදිවාසී වැදි නායක තිසාහාමි ඇත්තන්ට වරක් රාජ්‍ය නායකයෙකු විසින් නිල මැදුරක් සහ ඉඩකඩම් ලබා දීමට කළ ආරාධනාව, වැදි ජන සංස්කෘතියේ ආරක්ෂාව වෙනුවෙන් එතුමා ප්‍රතික්ෂේප කළා. පෞද්ගලික වරප්‍රසාද පසුපස යන සමාජයක එතුමා කළ ඒ කැපකිරීම අප සැමටම මහඟු ආදර්ශයක්."
සංවර්ධනය යනු ආදිවාසී වැදි ජනතාවගේ උරුමය විනාශ කිරීම නොවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, එක්සත් ජාතීන්ගේ ආදිවාසී අයිතිවාසිකම් පිළිබඳ ප්රකාශනයට අනුකූලව ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සියලු දෙනාගේම පරම වගකීමක් බවද අවධාරණය කළාය.
විවිධ රජයන් සමඟ මීට පෙර සාකච්ඡා කළද මෙතෙක් ඉටු නොවූ ආදිවාසී පනත සම්මත කරගැනීමේ කටයුතු වත්මන් රජය යටතේ ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
ඇය සඳහන් කළේ අමාත්‍ය සුනිල් සෙනෙවි මහතාගේ මැදිහත්වීම මත අදාළ පනත් කෙටුම්පත මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි.
මීට අමතරව, පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වැදි ජනතාවට වනාන්තරයට ඇතුළු වීමට අවසර ලබා දීම, ආදිවාසී වැදි ජනතාව ලියාපදිංචි කිරීම සහ නීත්‍යානුකූල හැඳුනුම්පතක් ලබාදීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තබා ඇති බවත්, මගින් ඔවුන්ගේ ගැටලු රැසකට ස්ථීර විසඳුම් ලැබෙන බවත් ඇය පැවසුවාය. මෑතකදී ඇති වූ 'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් ආදිවාසී වැදි ජනතාවට සහන සැලසීමේ කටයුතුද මේ වන විට කඩිනම් කර ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
උත්සවයේදී අදහස් දැක් වූ ආදිවාසී වැදි නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ,
"රටක පැවැත්මට නීති අවශ්‍යයි. නමුත් ඒ නීති සකස් කරද්දී රටේ ජනතාව ගැන, ජාතීන් ගැන වගේම සංස්කෘතීන් ගැන අවධානයෙන් යුතුව ඒවා සකස් කරන්න ඕන. අපි පැවති රජයන් බොහෝමයක් සමඟ අපිට ඇති වී තිබෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කළාට නිසි විසඳුමක් ලැබුණේ නැහැ. වත්මන් රජය ආවට පස්සෙත් අපි අපේ ගැටලු ඉදිරිපත් කළා. නීති සකස් කරද්දී අපේ අදහස් සැලකිල්ලට ගනිමින් ඉදිරි කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා."
