සඟ සමුළුවේදී අගලකඩ හිමිගෙන් සැර කතාවක් - කසාවතට මඩ බළකායෙන් එල්ලවන තර්ජන ගැනත් කියයි
July 27, 2026 07:45 pm
මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹදී අද (27) පස්වරුවේ පැවති සඟ සමුළුවකට එක්වෙමින්.
ශාසනාරක්ෂක සංඝ සභාව ''සුඛා සංඝස්ස සාමග්ගී'' තේමාවෙන් සංවිධාන කළ මහ සඟ සමුළුව ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී අද පස්වරුවේ පැවැත්වුණි.
ඒ,ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීම සක්‍රියව පවත්වාගෙන යන ලෙස බලධාරීන්ට අවධාරණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගලකඩ සිරිසුමන හිමියන්,
"සංඝයා එකතුවෙනවා කියලා කිව්වොත් සමහර අය ඉන්නවා ගැරඬියන්ට භූමි තෙල් ගහනවා වගේ කිපෙන පිරිසක් ඉන්නවා මේ රටේ මඩ ගහන්න. "
" කහ සිවුර කියන්නේ එසේ මෙසේ වස්ත්‍රයක් නෙමෙයි. ඒක ඇදගත්ත අපිට නිවට නියාළුව ඉන්න බෑ. ඒ නිසා අපි මේ වගකීම් තේරුම් අරන් කටයුතු කරන්න වෙනවා. "
"අපි දන්වා අද අපේ රටේ ක්‍රියාත්මක වෙන බලය, රාජ්‍ය බලය, දේශපාලන බලය මෙහෙයවන්නේ ජාතියට ද්‍රෝහිකම් කරන දුෂ්ටකම් කරන වෛර කරන විදේශ ගතව සිටින සංවිධාන, ඔවුන්ගේ මුදලින් යැපෙන, අදහස්වලින් චින්තනයෙන් යැපෙන පාලකයන්. ඔවුන්ට උවමනා දේ කරන්න තමයි උත්සහ කරන්නේ. ඔවුන්ට මේ කසාවත පෙන්නන්න බෑ. සිවුර තුළ ගොඩනැගී තිබෙන මේ ජාතික බලය සංස්කෘතිය මේ වටිනා විශිෂ්ට සම්බන්ධතා ඒවා ඉවසන්නේ නෑ. මෙපමන කාලයක් විදේශ රටවල සිට උත්සහ කළා පහර දෙන්න විනාශ කරන්න. අද ඒක ප්රබලව සෘජුවම වෙනවා. හමුදුරුවරුන්ට තාම ඒක දැනුනේ නෑ. තව අවුරුදු 2ක 3ක් යනකොට පාරට බහින්න බැරි තත්ත්වයක් උද්ගත වෙනවා. ඒ නිසා නිහඬව නොසිට ආණ්ඩු පෙරළන්න නොවෙයි පාලකයෝ ගෙදර යවන්න නොවෙයි. අපිට එල්ල වන අභියෝග ඉදිරියේ අපි නොසැලි සිට මෙසේ එකතු වී අපේ ශක්තිය අපේ බලය ලෝකයට පෙන්වා දෙන්න ඕනේ...."
