චීන කෝටිපතියාට අමෙරිකාවෙන් වසර 30ක සිරදඬුවමක්
සයුරෙන් එතෙර

චීන කෝටිපතියාට අමෙරිකාවෙන් වසර 30ක සිරදඬුවමක්

June 30, 2026   11:16 am

ඩොලර් බිලියනයක මූල්‍ය වංචාවක් සිදුකිරීමේ වරදට, චීනයේ සිටි ලොව ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වූ ගුඕ වෙන්ගුයි හට අමෙරිකානු අධිකරණයක් විසින් වසර 30ක සිරදඬුවමක් නියම කර තිබේ.

කලක් චීනයේ ප්‍රධාන පෙළේ දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකු වූ ගුඕ, 2017 වසරේදී චීනයෙන් පලාගොස් අමෙරිකාවේ පදිංචි විය. එහිදී ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ දැඩි විවේචකයෙකු ලෙස පෙනී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ විශාල පිරිසකගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් විය.

කෙසේ වෙතත්, වංචනික ලෙස මුදල් ඉපැයීම , මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට ඔහු වරදකරු බව පසුව අධිකරණයේදී ඔප්පු විය.

නිව්යෝර්ක් අධිකරණ විනිසුරු ඇනලීසා ටොරස් ප්‍රකාශ කළේ, ගුඕ විසින් චීනයට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමට කැමැත්තෙන් සිටි පුද්ගලයන්ව රවටා, ඔවුන්ගේ මුදල් ලබාගෙන තමන්ගේ සුඛෝපභෝගී ජීවිතය සඳහා වැය කර ඇති බවය.

'මයිල්ස් ගුඕ' සහ හෝ 'වන් ක්වොක්' යන නම්වලින් ද හඳුන්වන මොහුට මෙම දඬුවම නියම කරන අවස්ථාවේදී ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් අධිකරණ ශාලාවට රැස්ව සිටියහ.

අමෙරිකානු නීතිඥ ෂෝන් එස් බක්ලි මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, "තමන්ට ලැබුණු නීත්‍යානුකූල අවස්ථාවලින් සෑහීමකට පත් නොවූ ගුඕ, තමන්ගේ කෑදරකම වෙනුවෙන් දහස් ගණනක් මිනිසුන් තැබූ විශ්වාසය අනිසි ලෙස භාවිත කළා" යනුවෙනි. "ප්‍රසිද්ධිය හෝ ධනය නිසා කිසිවෙකුට නීතියට ඉහළින් යා නොහැකි බවත්, අහිංසක පවුල් සූරාකමින් තමන් පොහොසත් වන වංචාකරුවන්ට මෙවැනි දැඩි ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවන බවත් මේ දඬුවමෙන් පැහැදිලි වෙනවා" යැයි ද ඔහු පැවසීය.

චීනයෙන් පලා යාමට පෙර ගුඕ එරට රජය සමඟ සමීප සබඳතා පවත්වමින් විශාල ධනයක් උපයා තිබුණි. නමුත් චීන බලධාරීන් විසින් ඔහුට දූෂණ චෝදනා එල්ල කිරීමත් සමඟ ඔහු අමෙරිකාවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේය.

පසුව ඔහු චීන කොමියුනිස්ට් පාලනය විවේචනය කරමින්, අමෙරිකාවේ වෙසෙන චීන ප්‍රජාව අතර විශාල අනුගාමිකයන් පිරිසක් නිර්මාණය කරගත්තේය.

පැමිණිල්ල පාර්ශ්වය පවසන පරිදි, 2018 සහ 2023 අතර කාලය තුළ ගුඕ විවිධ ආයෝජන සහ ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපෘති හරහා ඔහුගේ අන්තර්ජාල අනුගාමිකයන්ගෙන් ඩොලර් බිලියනයකට වඩා එකතු කර ඇති බව විදෙස් පුවත් පවසයි.

එසේ එකතු කරගත් මුදල්වලින් ඔහු වර්ග අඩි 50,000ක දැවැන්ත මන්දිරයක්, ඩොලර් මිලියනයක ලැම්බෝගිනි රථයක් සහ ඩොලර් මිලියන 37ක සුඛෝපභෝගී යාත්‍රාවක් මිලදී ගනිමින් ඉතා ඉහළ ජීවන රටාවක් ගත කර තිබේ.

කෙසේ වෙතත් ගුඕ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ඔහු පවසන්නේ එම මුදල් සියල්ලම තම දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යෙදවූ බවය.

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයෙකු වූ ස්ටීව් බැන්නන් ඇතුළු චීන විවේචකයන් රැසක් සමඟ ද ගුඕ සමීප සබඳතා පවත්වා ඇත.

2020 වසරේදී මොවුන් දෙදෙනා එකතු වී චීන කොමියුනිස්ට් පක්ෂය බලයෙන් පහ කිරීමේ අරමුණින් "New Federal State of China" නමින් දේශපාලන ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබේ.

එම වසරේ අගභාගයේදී ස්ටීව් බැන්නන්ව අත්අඩංගුවට ගැනුණේ ද කනෙක්ටිකට්හි නවතා තිබූ ගුඕගේ සුඛෝපභෝගී යාත්‍රාව තුළදීය. බැන්නන්ට චෝදනා එල්ල වූයේ අමෙරිකා-මැක්සිකෝ දේශසීමා තාප්පය ඉදිකිරීම සඳහා මුදල් එකතු කළ ලාභ නොලබන සංවිධානයක අරමුදල් වංචා කිරීම සම්බන්ධයෙනි.

බැන්නන් පසුව නිව්යෝර්ක් අධිකරණයකදී එම වංචා චෝදනාවලට වැරදිකරු බව පිළිගත් අතර, ඔහුට වසර තුනක කොන්දේසි සහිත නිදහසක් හිමිව තිබේ.

මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ෆෙඩරල් චෝදනා ද එල්ල වී තිබූ නමුත්, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ජනාධිපති ධුර කාලයේ අවසන් පැය කිහිපය තුළ බැන්නන්ට ජනාධිපති සමාව ලබා දීම නිසා එම නඩු කටයුතු නතර විය.