කැනඩාව සහ ස්විට්සර්ලන්තයත් ලෝක කුසලානයේ 32දෙනාගේ වටයට
June 25, 2026 07:02 am
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ "B" කාණ්ඩයේ පැවැති තීරණාත්මක තරගයකින් මෙවර තරගාවලියේ සම-සංවිධායකයින් වූ කැනඩාව පරදා ගෝල 2-1 ක ජයක් ලැබීමට ස්විට්සර්ලන්තය සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ "B" කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනාගනිමින් ලෝක කුසලාන තරගාවලියේ 32 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ස්විට්සර්ලන්තය සමත් වූ අතර, පරාජයට පත්වුවද කැනඩා කණ්ඩායම ද දෙවැනි ස්ථානය හිමිකරගනිමින් සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබීය.
වැන්කුවර් නුවර පැවැති මෙම තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට දැඩි සටනක් දීමට සිදුවූ අතර, එහිදී ස්විට්සර්ලන්ත නායක ග්‍රැනිත් ෂාකා සිය 149 වැනි ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරමින් කැපී පෙනුණි.
කැනඩා කණ්ඩායම පසුගිය සතියේ කටාර් රාජ්‍යයට එරෙහිව ගෝල 6ක් රැස් කරමින් දක්ෂතා දැක්වුවද, මෙම තරගයේ පළමු අර්ධය තුළ ස්විට්සර්ලන්ත ආරක්ෂක පෙළ හමුවේ අසරණ විය.
කෙසේ වෙතත්, දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තුවක් යෑමටත් මත්තෙන් තරගය උණුසුම් කරමින් ස්විට්සර්ලන්තයේ රූබන් වර්ගාස් පළමු ගෝලය වාර්තා කළේය. ඉන් මිනිත්තු 11කට පසු, එනම් තරගයේ 57 වැනි මිනිත්තුවේදී ජොහෑන් මන්සැම්බි ස්විට්සර්ලන්තය වෙනුවෙන් දෙවැනි ගෝලය ද වාර්තා කරමින් ඔවුන්ගේ ජයග්‍රහණය ස්ථිර කළේය.
තරගය අවසන් වීමට මිනිත්තු 14ක් තිබියදී කැනඩා කණ්ඩායමේ ප්‍රොමිස් ඩේවිඩ් පිටියට පිවිස තත්පර 76ක් වැනි කෙටි කාලයක් තුළ කැනඩාව වෙනුවෙන් ගෝලයක් ලබාගනිමින් ලකුණු තත්ත්වය 2-1 ක් ලෙස අඩු කිරීමට සමත් වුවද, තරගයේ ජයග්‍රහණය වෙනස් කිරීමට එය ප්‍රමාණවත් නොවීය.
මෙම ජයග්‍රහණයත් සමඟ ස්විට්සර්ලන්තය, ආර්ජන්ටිනාව සහ ප්‍රංශය සමඟ එක්වෙමින් පිට පිටම ලෝක කුසලාන තරගාවලි හතරකදීම පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබූ ලොව තෙවැනි රට බවට පත්විය.
ඔවුන් ලබන ජූලි 3 වෙනිදා වැන්කුවර් ක්‍රීඩාංගණයේදීම E, F, G, H, I හෝ J යන කාණ්ඩවල තෙවැනි ස්ථානය ගන්නා කණ්ඩායමකට එරෙහිව තරග වැදීමට නියමිතය.
කැනඩා කණ්ඩායම 32 දෙනාගේ වටයට තේරී පත් වුවද, කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අපොහොසත් වීම නිසා ඔවුන්ට මින් ඉදිරියට සිය මව් රට තුළ තරග කිරීමේ අවස්ථාව අහිමි වේ.
ඒ අනුව ජෙසී මාෂ් යටතේ ක්‍රීඩා කරන කැනඩා කණ්ඩායම සිය ඊළඟ තරගය සඳහා ජූනි 28 වෙනිදා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේදී "A" කාණ්ඩයේ දෙවැනි ස්ථානය ගන්නා කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතය.
මේ අතර, "B" කාණ්ඩයේ පැවැති සිය අවසන් මූලික වටයේ තරගයෙන් කටාර් රාජ්‍යය ගෝල 3-1 ක් ලෙස පරාජය කරමින් ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු ජීවමාන කර ගැනීමට බොස්නියා-හර්සගොවිනා කණ්ඩායම සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ බොස්නියාව සහ කැනඩාව ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා සම තත්ත්වයේ පසු වුවද, කණ්ඩායම් දෙක අතර පැවැති තරගයේ ප්‍රතිඵලය මත කැනඩාවට දෙවැනි ස්ථානය හිමි විය.
මේ හේතුවෙන් බොස්නියාවට "B" කාණ්ඩයේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වූ අතර, 32 දෙනාගේ වටයට සෘජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි විය.
කෙසේ වෙතත්, තරගාවලියේ හොඳම තෙවැනි ස්ථාන දිනාගන්නා කණ්ඩායම් 8 අතරට එක්වෙමින් ඊළඟ වටයට පිවිසීමේ වැඩි අවස්ථාවක් ඔවුන්ට තවමත් පවතී.
සීඇටල් නුවර සෙල්සියස් අංශක 29ක දැඩි උණුසුම් කාලගුණයක් යටතේ පැවැති මෙම තරගයේ 29 වැනි මිනිත්තුවේදී 18 හැවිරිදි කෙරිම් ඇලජ්බෙගොවිච් එල්ල කළ ප්‍රබල ප්‍රහාරයකින් බොස්නියාව තරගයේ පළමු ගෝලය වාර්තා කළේය.
ඉන් මිනිත්තු 6කට පසු, බොස්නියා ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇති 40 හැවිරිදි නායක එඩින් ජෙකෝ සිය 150 වැනි ජාත්‍යන්තර තරගය සලකුණු කරමින් එල්ල කළ ප්‍රහාරයක් කටාර් ආරක්ෂක ක්‍රීඩක සුල්තාන් අල් බ්‍රේක්ගේ ඇඟේ වැදී ගෝලයක් බවට පත්විය.
එය අවාසනාවන්ත ස්වයං ගෝලයක් ලෙස සටහන් වූයේ බොස්නියාවට 2-0 ක පෙරමුණක් දෙමිනි.
පළමු අර්ධය නිමා වීමට මිනිත්තු 3ක් තිබියදී කටාර් නායක හසන් අල්-හයිඩොස් ගෝලයක් වාර්තා කරමින් ලකුණු තත්ත්වය 2-1 ක් ලෙස අඩු කරමින් කටාර් පිලට බලාපොරොත්තු ගෙන ආවේය.
ඉන්පසුව ආසියානු ශූර කටාර් කණ්ඩායම තරගයට අවතීර්ණ වීමට දැඩි උත්සාහයක නිරත වුවද, බොස්නියානු ආරක්ෂක පෙළ බිඳ දැමීමට ඔවුන්ට නොහැකි විය.
තරගයේ 80 වැනි මිනිත්තුවේදී බොස්නියා කණ්ඩායමේ අර්මින් මහමිච් තෙවැනි ගෝලය ද වාර්තා කරමින් බොස්නියාවේ 3-1 ක ජයග්‍රහණය තහවුරු කළේය.
මෙය 2014 වසරේදී ඉරානයට එරෙහිව ලැබූ ජයට පසු බොස්නියාව ලෝක කුසලාන ඉතිහාසයේ ලැබූ දෙවැනි තරග ජයග්‍රහණයයි.
ඔවුන් ලබාගත් ප්‍රසාද ලකුණු 4 ඊළඟ වටයට සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් වනු ඇතැයි විශ්වාස කෙරෙන අතර, කටාර් රාජ්‍යය එක් ප්‍රසාද ලකුණක් පමණක් ලබා ගනිමින් කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්ව තරගාවලියෙන් ඉවතට විසිවිය.
