හොරණ - කොළඹ 120 මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනයක්
June 10, 2026 12:14 pm
පරදීමක් මුල් කර ගනිමින් හොරණ - කොළඹ 120 බස් මාර්ගයේ පෞද්ගලික සාමාන්‍ය සේවා බස් රථ ධාවනයෙන් ඉවත්වී තිබේ.
ඊයේ (09)පෙරවරුවේ හොරණ - කොළඹ මාර්ගයේ ගමන් කරන පෞද්ගලික බස් රථයකට මොරගහහේන - පිළියන්දල පෞද්ගලික බස් රථයක සේවකයෙකු විසින් පහර දී ඇති අතර මේ දක්වා එම සේවකයා අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කර ඇත.
අද (10) උදෑසන 10.20ට පමණ ඒ අනුව බස් සියල්ල ධාවනයෙන් ඉවත්වී තිබේ.
පෞද්ගලික බස් රථ සේවකයින් පවසන්නේ පහරදුන් සේවකයා අත්අඩංගුවට ගන්නාතුරු බස් රථ ධාවනය නොකරන බවය.
පහර කෑ බස් රථ රියදුරු මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබයි.
පහරදීම සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය මඟින් පරීක්ෂණ සිදුකරනු ලබන අතර, බස් වර්ජනය ආරම්භ කිරීමත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ අදාළ සැකකරු ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවත් එතෙක් බස් ධාවනය කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඔවුන් පවසා සිටියේ, සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තුරු බස් ධාවනයෙන් ඉවත් වන බවය.
වර්ජනය හේතුවෙන් මගීන්ගේ අපහසුතාවය වැළැක්වීම සඳහා පෞද්ගලික බස් රථ වෙනුවට ලංගම බස් රථ යොදවා තිබුණි.
වර්ජනයට සහයෝගය දැක්වීමක් වශයෙන් 120 හොරණ - කොළඹ මාර්ගයේ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ ද දහවල් 11.10ට පමණ වනවිට බස් ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කර තිබුණි.
