හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පස්දෙනා අතරට

හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පස්දෙනා අතරට

June 4, 2026   11:25 am

ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග, පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල (Men's Javelin Throw World Rankings) මුල් පෙළේ ක්‍රීඩකයන් 5 දෙනා අතරට පැමිණීමට සමත්ව තිබේ.

මෑතකදී නිමා වූ තරගාවලි කිහිපයකදී දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ඔහු සමත් වී ඇත.

ඒ අනුව සාමාන්‍ය දක්ෂතා ලකුණු (Average Performance Score) 1,287ක් ලබා ගනිමින් ඔහු ලෝකයේ 5 වන ස්ථානය තහවුරු කරගෙන තිබේ.

පසුගිය සඳුදා (01) මොරොක්කෝවේ පැවැති 'Rabat Diamond League' තරගාවලියේදී මීටර් 85.97ක දුරක් හෙල්ල විසි කරමින් රිදී පදක්කම දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් විය.

ඔහුගේ මෙම සුවිශේෂී දක්ෂතාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හේතු වී තිබේ.

පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ජර්මනියේ ජූලියන් වෙබර් (Julian Weber) සමත්ව සිටී.

ලෝකයේ ප්‍රමුඛතම ක්‍රීඩකයන් පස්දෙනා පෙළගැසී ඇති පිළිවෙල


1 ජූලියන් වෙබර් (Julian Weber)- ජර්මනිය

2 ඇන්ඩර්සන් පීටර්ස් (Anderson Peters)- ග්‍රෙනඩාව

3 කෙෂෝන් වෝල්කොට් (Keshorn Walcott)- ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ

4 නීරාජ් චොප්රා (Neeraj Chopra)- ඉන්දියාව

5 රුමේෂ් තරංග (Rumesh Tharanga)- ශ්‍රී ලංකාව