තැන් දෙකක මනුෂ්‍ය ඝාතන දෙකක්

තැන් දෙකක මනුෂ්‍ය ඝාතන දෙකක්

May 21, 2026   06:02 am

සීදුවේ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම්වල මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව ඇති අතර, පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි. 

සීදූව පොලිස් වසමේ මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසකින් දුර්ගන්ධයක් හමන බවට දී සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ අනුව නිවස පරීක්ෂා කිරීමේ දී නිදන කාමරයක තබා තිබූ ගමන් බෑගයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට නිරීක්ෂණය වී ඇත. 

එලෙස මියගොස් ඇත්තේ, 79 හැවිරිදි මූකලන්ගමුව, සීදූව ප්‍රදේශයේ පදිංචිකාරියකි. 

මරණකාරිය එම නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර නිවසේ සවිකර තිබූ CCTV කැමරා ගලවා ඉවත් කර ඇති බවත්, දුරකථන රැහැන් කපා ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

අද (21) දින මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ. 

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 31ක් වූ මෝදර උයන මහල් නිවාසය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.