සජබය සහ එජාපය එක්වී හමාරයි - සජිත්ගෙන් ප්‍රකාශයක්
May 1, 2026 06:22 pm
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද (01) කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැති මැයි දින රැලියේදී අදහස් දක්වමිනි.
එහිදී විපක්ෂනායකවරයා පැවසුවේ සමගි ජන බලවේගයේ මැයි දින රැලිය සඳහා හිටපු ජනාධිපතිවරයා සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇති බවත් ඒ සඳහා තමන් සිය ස්තූතිය පළ කරන බවත්ය.
එමෙන්ම අදාළ සුබ පැතුම් පණිවිඩය මගින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇති පරිදි සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගමනක් යාම සඳහා කමිටුවක් පත් කළ යුතු බව සඳහන් කර ඇති නමුත් පක්ෂ දෙක මේ වන විට එක්ව ඇති බැවින් එම කමිටු අවශ්‍ය නොවන බවද සඳහන් කළේය.
විපක්ෂනායකවරයා එහිදී අදහස් දක්වමින් පැවසුවේ අදාළ කමිටු තුළ සිටින ඇතැම් පුද්ගලයින් මෙම එක්වීම කඩාකප්පල්කාරී කිරීමට කටයුතු කරන බවත් කෙසේ නමුත් ඔවුන්ගේ එම කුමන්ත්රණකාරී ක්‍රියාපිළිවෙතට මින් පසු ඉඩ තැබීමට කටයුතු නොකරන බවත්ය.
සමගි ජන බලවේග මැයි දින රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
"අද මේ දුර්දාන්ත ජනතා විමුක්ති පෙරමුණු රජය ආයතන සියල්ලක්ම විනාශ කරලා, අධ්‍යාපනය විනාශ කළා, වරායේ ආරක්ෂාවට ගැහුවා කන්ටේනර් පන්නලා, ගල්අඟුරු හොරකම් කළා බාල ගල්අඟුරු ගෙනාවා අදටත් ඒ පිළිබඳව නිසි වගකීමක් කවුරුත් අරගෙන නෑ. අපේ රටේ සම්පත් ඩොලර් ලක්ෂ 25ක් හොරාකාලා තියෙනවා. කවුරුත් ඒක ගැන වගකීමක් බාරගෙන නෑ. මේක වැඩබැරි ආණ්ඩුවක් කියන එක තවත් අමුතුවෙන් ඔප්පු කරන්නට ඕනේ නෑ. මේ ආණ්ඩුව කිව්වේ හොරු අල්ලනවා කියලා. හැබැයි හොරු අල්ලනවායි කියපු ආණ්ඩුව අද කරන්නේ හොරු හදනවා, අලුතින් හොරු නිර්මාණය කරනවා. මතක තියාගන්න සමගි ජන බලවේගයේ අපේ සන්ධානය නොසිටින්න අදටත් පාසල් ළමයි අසභ්‍ය වීඩියෝ බලනවා, සමගි ජන බලවේගය නොසිටින්න අදටත් වරායෙන් කන්ටේනර් පන්නනවා, සමගි ජන බලවේගය නොසිටින්න අදටත් විදුලිබල ඇමති ඒ පුටුවේ ඉඳගෙන බාල ගල්අඟුරු ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනවා. සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය නොසිටින්න අදටත් භාණ්ඩාගාරයෙන් බිලියන ගණන් හොරකම් කරනවා.
අපිට මතකයි ජනාධිපතිවරයා කියනවා රට විනාශ කරන්න චෞර වළල්ලක් නිර්මාණය වෙලාලු. රට විනාශ කරන කාර්ටෙල් එකක් නිර්මාණය වෙලාලු හැබැයි ඔක්කොටම වැඩිය භයංකාරයි පැලවත්තේ පච වළල්ල. පැලවත්තේ පච වළල්ල තමයි අලුත් හොරුන්ව නිර්මාණය කරන්නේ. මේ මැයි දිනේට අපි එනකොට අනෙකුත් මැයි දිනවලට වඩා වෙනස්. ජනතාවගේ මුහුණු දිහා බැලුවාම අලුත් බලාපොරොත්තුවක් තිබෙනවා, අලුත් අපේක්ෂාවක් තිබෙනවා. නියත වශයෙන්ම සමගි ජනබලවේග නායකත්වය තුළ මේ පච වැඩ කරන ආණ්ඩුව වෙනුවට වැඩ කරන, රට දියුණු කරන රාජ්‍ය පාලනයකට අපි මුළ පුරණවායි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.
රටට අවශ්‍ය ජනතාවට විසඳුම්, ජනතාවට මුහුණ දෙන ගැටලුවලට උත්තර. අපි සූදානම් මේ උත්තර සපයන්න. අපේ රටේ ගොවි, ධීවර, කම්කරු, ග්‍රාමීය, නාගරික, වතු ප්‍රජාව දුගී දුප්පත් ජනතාව අද අන්ත අසරණභාවයට පත්වෙලා. කාන්තා පරපුර, තරුණ පරපුර, ළමා පරපුර, ළදරු පරපුර අද අන්ත අසරණභාවයට පත්වෙලා. අද මැද පන්තියට, වෘත්තියවේදීන්ට, වෘත්තිකයින්ට අද තමන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. දිට්වා සුළි කුණාටුවෙන් වහලය තිබුණු ටකරම අහිමි වුණු අය ලක්ෂ 10 බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඉඩමක් නිවසක් අහිමි වුණ අය දෙනවායි කියපු රුපියල් කෝටිය ලැබෙනකන් බලන් ඉන්නවා. අද රටේ හැමෝටම දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වුණු ජනතාව අමතක කරපු දේශපාලන සංස්කෘතියක් අද රටේ තිබෙන්නේ. අපි දේශපාලන පක්ෂයක් හැටියට අලුත් වෙන්න ඕනේ, නවීකරණය වෙන්න ඕනේ, සුපුරුදු රාමුවට කොටු වෙලා 76 වසරක පරණ දේශපාලන ක්‍රමය වෙනුවට විසඳුම් ලබා දෙන වැඩපිළිවෙලකට යොමුවෙන්න ඕනේ. ඒ නිසා සක්වල, හුස්ම වැඩසටහන් අපි ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා ඒ විතරක් නෙමෙයි ස්මාර්ට් රටක් ගොඩනගන්න සුහුරු ක්‍රමවේද අපි ක්‍රියාත්මක කරලා අලුත්ම ව්‍යාපෘතියක් හැටියට පාසල් පදනම තුළ AI අධ්‍යාපනය ලබා දෙන්නත් අපි ඒ වැඩපිළිවෙලත් ආරම්භ කරනවා.
සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය අනිත් විපක්ෂත් සමග එකතු වෙලා අපි බොරු සහතික තිබුණු කථානායකව සති කිහිපයක් තුළ ගෙදර යැව්වා. ඒ විතරක් නෙමෙයි බාල ගල්අඟරු අපේ රටේ ලක්විජය බලාගාරයට යොමු කරපු ඇමතිවරයාවත් ගෙදර යැව්වා, ලේකම්වත් ගෙදර යැව්වා. විවිධ කණ්ඩායම් ඉන්නවා රජයේ කොන්ත්‍රාත් කරනවා, ආණ්ඩු වෙනුවෙන් විපක්ෂය ගැන එක එක කතා කියනවා. ඵළ ඇති රුකටයි ගල් ගහන්නේ. පැහැදිලිව මම කියන්න කැමති රට ගොඩනගන එකම බලවේගය සමගි ජන බලවේගයයි, සමගි ජන සන්ධානයයි. අපි මේ රටේ ප්රගතිශීලී සියලුම දෙනාත් සමග අත්වැල් බැඳගෙන ජනතා විමුක්ති පෙරමුණු පාලනය තුළ කඩා වැටුණු අපේ මේ දේශය ගොඩගන්නවා ගොඩගන්නවාමයි.
අපි ඉතාමත්ම සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද අපේ මේ මැයි රැලියට සුබ පැතුම් පණිවිඩයක් එකතු කළා. ඒකට අපි ස්තූතිවත්ත වෙනවා. එතුමා යෝජනා කරලා තියෙනවා. එකට වැඩ කරන්න කමිටුවක් අවශ්‍යයි කියලා. මම මේ අවස්ථාවේ කියන්න කැමතියි දැන් කමිටු අවශ්‍ය නෑ. දැන් දෙගොල්ලේ එකතු වෙලා හමාරයි. අපි එකට වැඩ කරන්නේ මොකද සමහර විට ඔය කමිටුවල මේ එකතුවීම වළක්වන්නට ඇතුල් වන බොහොම සුළු කොට්ඨාසයක් ඉන්නවා. ඒ අයගේ බලාපොරොත්තුව අපේ මේ එකතුව කඩාකප්පල් කරන්නයි. අපි ඒ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකාරීන්ට ඉඩ තබන්නේ නෑ. අපි අනිවාර්යයෙන්ම එකට එකතු වෙලා තමයි ඉදිරියට යන්නේ.
මම කියන්න කැමතියි අනුර කුමාර දිසානායක මැතිතුමාට අභියෝගයක් ඉදිරිපත් කරන්න කැමතියි පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න. කල් අරගෙන නෙමෙයි දැන්ම තියන්න. මේක ප්‍රකාශයක් නෙමෙයි මේක අභියෝගයක්. මේ අතිසාර්ථක මැයි දින රැලිය ඔබ සියලු දෙනාගේම ශක්තිය තුළ සාර්ථක මැයි රැලියක් බවට පත්වුණා. පළාත් සභා මැයි රැලිය තියන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමෝ ලබන වසරේ මැයි රැලිය තියන්නේ අපේ මහ ඇමතිවරුත් සමගයි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි."
